Skip to content

බයිබලයේ සඳහන් දේවලින් පොළොව පැතලියි කියලා අදහස් වෙනවාද?

බයිබලයේ සඳහන් දේවලින් පොළොව පැතලියි කියලා අදහස් වෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ කොතැනකවත් පොළොව පැතලියි කියලා සඳහන් වෙලා නැහැ. a බයිබලය විද්‍යාත්මක තොරතුරු ඇතුළත් පොතක් නෙමෙයි. ඒත් බයිබලයේ සඳහන් දේවල් සහ විද්‍යාවෙන් හොයාගෙන තියෙන දේවල් අතර කිසිම ගැටීමක් නැහැ. බයිබලයේ සඳහන් වචන ‘ස්ථිරයි.’ ඒවා ‘සදහටම පවතිනවා.’—ගීතාවලිය 111:8.

 “පොළොවේ සතර කොන” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

 සමහර බයිබල් පරිවර්තනවල “පොළොවේ සතර කොන” සහ “පොළොවේ කෙළවර” කියන යෙදුම් යොදාගෙන තියෙනවා. (යෙසායා 11:12; යෝබ් 37:3, ‘පැරණි අනුවාදය’) ඒත් ඒකෙන් පොළොව හතරැස් කියලවත් පොළොව පැතලියි කියලවත් අදහස් වෙන්නේ නැහැ. මොකද ඒ යෙදුම් වචනානුසාරයෙන් ගන්න බැහැ. ඒ යෙදුම් යොදාගෙන තියෙන්නේ පොළොව පුරාම කියන අදහස දෙන්නයි. ලූක් පොතෙත් ඒ වගේම අදහසක් සඳහන් වෙනවා. එතන “මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද” එනවා කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ සියලු දිශාවලින් නැත්නම් මුළු පොළොව පුරාම ඉන්න මිනිසුන් එනවා කියන එකයි.—ලූක් 13:29, ‘පැරණි අනුවාදය.’

 “කොන” සහ “කෙළවර” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචන, හෙබ්‍රෙව් භාෂාවෙන් “අත්තටු” කියන අදහස දෙන වචනයට සම්බන්ධයි. එක විශ්වකෝෂයක ඒ ගැන කියන්නේ මෙහෙමයි. “කුරුල්ලෙක් තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරන්න අත්තටු දෙක සම්පූර්ණයෙන්ම විහිදුවලා උන්ව ආවරණය කරනවා.” යෝබ් 37:3 සහ යෙසායා 11:12 පොළොව ගැන සඳහන් කරද්දී ඒ අදහස දෙන හෙබ්‍රෙව් යෙදුම් භාවිතා කරලා තියෙන්නේ සම්පූර්ණ පොළොවම නැත්නම් පොළොව පුරාම කියන අදහස දෙන්නයි.” bThe International Standard Bible Encyclopedia.

 යක්ෂයා යේසුස්ව පරික්ෂා කරපු අවස්ථාව ගැන සඳහන් දෙයින් පොළොව පැතලියි කියලා ඇඟවෙනවාද?

 එක අවස්ථාවක යක්ෂයා යේසුස්ව පරීක්ෂා කරන්න හිතාගෙන “ඔහුව ඉතා උස් කන්දකට ගෙන ගොස් ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද පෙන්නුවා.” (මතෙව් 4:8) ඒ විස්තරය නිසා පොළොව පැතලියි කියන අදහස බයිබලයේ උගන්වනවා කියලා සමහරු කියනවා. මොකද උස් ස්ථානයකට ගිහින් මුළු පොළොවම දකින්න නම් පොළොව පැතලි වෙන්න ඕනෙ කියලයි එයාලා කියන්නේ. ඒත් සාතන් යේසුස්ව “උස් කන්දකට” ගෙනිච්චා කියද්දී ඒක සැබෑ තැනක් කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එහෙම කියන්න හේතු කිහිපයක් බලමු.

  •   මුළු පොළොවම දකින්න පුළුවන් තරම් “උස් කන්දක්” පොළොවේ කිසිම තැනක නැහැ.

  •   යක්ෂයා යේසුස්ට සියලු රාජ්‍යයන් විතරක්ම නෙමෙයි “ඒවායේ තේජසත්” පෙන්නුවා. යම් රාජ්‍යයක තේජස ඈත ඉඳන් දකින්න බැහැ. ඒ නිසා යක්ෂයා ඒ වෙලාවේ යේසුස්ට පෙන්නුවේ දර්ශනයක් කියලා හිතන්න පුළුවන්. ඒක හරියට ප්‍රොජෙක්ටර් එකකින් කෙනෙක්ට පොළොවේ එක එක තැන්වල පින්තූර පෙන්නනවා වගේ දෙයක්.

  •   ඒ සිද්ධියම ලූක් පොතේ වාර්තා කරලා තියෙන විදිහෙනුත් ඒක සැබෑ තැනක් නෙමෙයි කියලා පැහැදිලි වෙනවා. ලූක් 4:5 මෙහෙම කියනවා. “යක්ෂයා ඔහුව උස් තැනකට ගෙනැවිත් ලොව පුරා පිහිටුවා ඇති සියලු රාජ්‍යයන් එක සැණින්ම පෙන්නුවා.” මුළු ලෝකයේම රාජ්‍යයන්වල තේජස “එක සැණින්” දකින්න සලස්වන්න, සාතන් යොදාගත්තේ සාමාන්‍ය මිනිස් ඇසකට දකින්න පුළුවන් දේට එහා ගිය දෙයක් කියලා පැහැදිලියි.

a සමහර බයිබල් පරිවර්තනවල දෙවියන්ව “පෘථිවිචක්‍රය මතුයෙහි ඉන්න තැනැත්තා” කියලා හඳුන්වලා තියෙනවා. (යෙසායා 40:22, ‘පැරණි අනුවාදය’) ඒ පදයේ “පෘථිවිචක්‍රය” කියද්දී ඒකෙන් පෘථිවිය ගෝලාකාරයි කියන දේ අදහස් වෙනවා කියලා සමහර පොත්වල සඳහන් වෙනවා. ඒත් සමහර විද්වතුන් ඒ අදහස පිළිගන්නේ නැහැ. කොහොමවුණත් පොළොව පැතලියි කියලා අඟවන කිසිම අදහසක් බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ.

b Revised Edition, Volume 2, page 4.