Skip to content

හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. මුදල් හානිදායක දෙයක් කියලවත් හැම නපුරකටම හේතුව මුදල් කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්” කියලා සමහරු කිව්වත් බයිබලේ ඒක සඳහන් වෙන්නේ ඒ විදිහට නෙමෙයි. බයිබලයේ කියන්නේ “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය” කියලා.—1 තිමෝති 6:10.

 මුදල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද?

 අපි ඥානවන්ත විදිහට මුදල් පාවිච්චි කරනවා නම් ඒකෙන් අපිට ප්‍රයෝජන තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. මුදල අපිට “ආරක්ෂාවක්” වෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:12) ඒ වගේම ත්‍යාගශීලී අයව බයිබලයේ අගය කරලා තියෙනවා. අනිත් අයට මුදල්හදල් දීලා උදව් කරන එක ත්‍යාගශීලී වෙන්න පුළුවන් එක විදිහක්.—හිතෝපදේශ 11:25.

 ඒත් එක්කම බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා මුදල් හම්බ කරන එකට ජීවිතයේ මුල් තැන දෙන්න එපා කියලා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:5) ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි මුදල් පස්සෙම යන එකයි වැරදි. කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් වගේ අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් අපි සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න ඕනේ.—1 තිමෝති 6:8.

 මුදල්වලට තියෙන දැඩි ආශාව ගැන බයිබලයේ අනතුරු අඟවන්නේ ඇයි?

 කෑදර අයට සදාකාල ජීවිතය ලැබෙන්නේ නැහැ. (එෆීස 5:5) ඒකට එක හේතුවක් කෑදරකම රූප නමස්කාරයට, ඒ කියන්නේ බොරු දෙවිවරුන්ට කරන නමස්කාරයට සමාන වෙන එක. (කොලොස්සි 3:5) තවත් හේතුවක් තමයි කෑදර මිනිස්සු තමන් ආස කරන දේ කොහොමහරි ලබාගන්න හදන නිසා එයාලා හොඳ ප්‍රතිපත්ති රකින්නේ නැති එක. හිතෝපදේශ 28:20 මෙහෙම කියනවා. “පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.” ඒ වගේ අය කප්පම් ගන්න, වංචා කරන්න, අනිත් අයව පැහැර ගන්න, මිනී මරන්න පවා පෙලඹෙන්න පුළුවන්.

 මුදල්වලට දැඩි ආශාවක් තියෙන හැම කෙනෙක්ම ඒ වගේ නරක දේවල් නොකරන්න පුළුවන්. ඒත් එයාලට නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නවා” කියලා බයිබලයේ කියනවා.—1 තිමෝති 6:9.

 මුදල් ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

 මුදල් හම්බ කරන්න අපි වැරදි දේවල් කළොත් අපිට තියෙන ආත්ම ගෞරවය නැති වෙයි. දෙවියන්ගේ අනුමැතිය සහ උපකාරයත් අපිට ලැබෙන්නේ නැහැ. දෙවියන්ව සතුටු කරන්න අවංක උත්සාහයක් දරන අයට ඔහු මෙහෙම කියනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.” (හෙබ්‍රෙව් 13:5, 6) “විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ” කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—හිතෝපදේශ 28:20.