Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

උත්පත්ති 1:26 - “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ”

උත්පත්ති 1:26 - “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ”

 “දෙවි මෙසේද කීවේය. ’අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.’”—උත්පත්ති 1:26, ‘නව ලොව පරිවර්තනය.’

 “තවද දෙවියන්වහන්සේ: ‘අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි’ කීසේක.”—උත්පත්ති 1:26, ‘පැරණි අනුවාදය.’

උත්පත්ති 1:26 අදහස

 දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ දෙවියන්ගේ ගතිලක්ෂණ ඇතුව. ඒ කියන්නේ ආදරේ, අනුකම්පාව, සාධාරණව වැඩ කරන එක වගේ දෙවියන්ට තියෙන ගුණාංග එයාලගේ ජීවිතවලින් පෙන්නන්න පුළුවන් විදිහට. දෙවියන්ව ආදර්ශයට ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.

 “දෙවි මෙසේද කීවේය. ‘අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු.’” යෙහෝවා දෙවියන් a අනිත් හැම දෙයක්ම, හැම කෙනෙක්වම හදන්න කලින් බලවත් දේවදූතයෙක්ව නිර්මාණය කළා. ඒ තමයි යේසුස්. යේසුස්ව නිර්මාණය කළාට පස්සේ ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ [යේසුස්වයි].’ (කොලොස්සි 1:16) යේසුස් හැම දෙයක්ම කිව්වේ, කෙරුවේ යෙහෝවා දෙවියන් කියන කරන විදිහට. ඒ නිසයි බයිබලයේ කියන්නේ “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ ඔහු තුළින්ය” කියලා. (කොලොස්සි 1:15) එහෙම බලද්දී දෙවියන් “අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු” කියලා යේසුස්ට කියපු එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ.

 ‘හීලෑ සතුන්වද, මුළු පොළොවද ඔහුට යටත් කර දෙමු.’ දෙවියන් සතුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නෙමෙයි. උන්ට හෘදය සාක්ෂියකුත් නැහැ. ඒත් දෙවියන් සත්තු ගැනත් හුඟක් සැලකිලිමත් වෙනවා. ඒ නිසයි ඔහු සතුන්ව මිනිස්සු ‘යටතේ’ තියන්න ඒ කියන්නේ උන්ව “පාලනය” (‘නව අනුවාදය’) කරන්න මිනිස්සුන්ට භාර දුන්නේ. ඒ විදිහට යෙහෝවා දෙවියන් සතුන්ව බලාගන්න වගකීම මිනිසුන්ට භාර දුන්නා. (ගීතාවලිය 8:6-8; හිතෝපදේශ 12:10) මේ පොළොවයි, ඒකේ ජීවත් වෙන සතුන්වයි මිනිසුන් ආදරෙන් බලාගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා.

උත්පත්ති 1:26 අවට පද

 යෙහෝවා දෙවියන් විශ්වය, පොළොව සහ පොළොවේ ඉන්න ජීවීන්ව නිර්මාණය කරපු විදිහ ගැන සාරාංශයක් උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද දෙකේ සඳහන් වෙනවා. බයිබලයේ කියනවා “දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවේය” කියලා. (උත්පත්ති 1:31) ඇත්තටම දෙවියන් නිර්මාණය කරලා තියෙන හැම දෙයක්ම අතිවිශිෂ්ඨයි. පොළොවේ ඔහු නිර්මාණය කරපු දේවල් අතරින් ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කළේ මිනිස්සුන්ව විතරක් නිසා මිනිස්සු හරිම විශේෂයි.

 උත්පත්ති පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

උත්පත්ති 1:26 ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: දෙවියන් ඔහුගේ ගතිලක්ෂණ ඇතුව හැදුවේ පිරිමි අයව විතරයි.

 නිවැරදි අදහස: ඒ පදයේ “මනුෂ්‍යයා” කියලා තියෙන නිසා සමහරු හිතනවා එතන කතා කරන්නේ පිරිමි අය ගැන විතරයි කියලා. හැබැයි මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ අදහස දෙන්න පාවිච්චි කරලා තියෙන වචනයෙන් ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලන්වම අදහස් වෙනවා. ඒ කියන්නේ ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම දෙවියන්ගේ ගතිලක්ෂණ එයාලගේ ජීවිතවලින් පෙන්නන්න පුළුවන්. දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කරන්නත් සදාකාල ජීවිතය කියන තෑග්ග ලබාගන්නත් ඒ දෙගොල්ලන්ටම අවස්ථාව තියෙනවා.—යොහන් 3:16.

 වැරදි අදහස: දෙවියන්ටත් අපිට වගේ ශරීරයක් තියෙනවා.

 නිවැරදි අදහස: “දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්. ඔහු සිටින්නේ ස්වර්ගයේ.” (යොහන් 4:24) ඇත්ත, සමහර වෙලාවට දෙවියන් ගැන කියද්දී ඔහුගේ අත්, කන්, ඇස් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒ වචන පාවිච්චි කරලා තියෙන්නේ සංකේතාත්මක විදිහට. එහෙම කරලා තියෙන්නේ දෙවියන්ව හොඳින් තේරුම්ගන්න මිනිසුන්ට උදව්වක් විදිහටයි.—නික්මයාම 15:6; 1 පේතෘස් 3:12.

 වැරදි අදහස: උත්පත්ති 1:26න් ඔප්පු වෙනවා යේසුස් තමයි දෙවියන් කියලා.

 නිවැරදි අදහස: දෙවියන් සහ යේසුස් අතර තියෙන්නේ හරිම කිට්ටු බැඳීමක්. හරියට තාත්තා කෙනෙකුයි පුතෙකුයි වගේ. ඒ දෙන්නා එක් කෙනෙක් නෙවෙයි. ඒ නිසයි යේසුස් කිව්වේ දෙවියන් මට වඩා උතුම් කියලා. (යොහන් 14:28) වැඩි විස්තර දැනගන්න ‘යේසුස් ක්‍රිස්තුස් එකම සැබෑ දෙවියන්ද?’ කියන වීඩියෝ එක බලන්න. නැත්නම් “යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා හැටියට හැඳින්නුවේ ඇයි?” කියන ලිපිය කියවන්න.

 උත්පත්ති පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.