Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 14:6 - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”

යොහන් 14:6 - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”

 “යේසුස් ඔහුට මෙසේ කීවේය. ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.’”—යොහන් 14:6, ‘නව ලොව පරිවර්තනය.’

 “යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”—යොහන් 14:6, ‘පැරණි අනුවාදය.’

යොහන් 14:6 අදහස

 යෙහෝවා a දෙවි පියාණන්ට නමස්කාර කරන්න කැමති කෙනෙක් මේ පදයෙන් පැහැදිලි වෙන විදිහට යේසුස් ඉටු කරන වැදගත් වැඩ කොටස තේරුම්ගන්න ඕනේ.

 ‘මාර්ගය මමයි.’ දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න යේසුස් අපිට “මාර්ගය” හදලා දුන්නා. ඒ නිසා දෙවියන්ට නමස්කාර කරන අය එයාලගේ යාච්ඤා ඉදිරිපත් කරන්න ඕනෙ යේසුස්ගේ නමින් විතරයි. (යොහන් 16:23, 24) මිනිසුන්ට ආයෙත් දෙවියන් එක්ක සමාදාන වෙන්නත් ඔහුගේ අනුමැතිය දිනාගන්නත් පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරපු නිසයි. (රෝම 5:8-11) ඒ වගේම දෙවියන්ව සතුටු කරන්න නම් කෙනෙක් වැඩ කරන්න ඕනෙ විදිහ යේසුස් ඔහුගේ ආදර්ශයෙන්ම පෙන්නලා දුන්නා. (යොහන් 13:15) ඒ හේතු නිසා යේසුස්ව “මාර්ගය” විදිහට හඳුන්වන්න පුළුවන්.

 ‘සත්‍යය මමයි.’ දෙවියන් උගන්වපු සත්‍යය ගැනයි යේසුස් හැම වෙලේම අනිත් අයට ඉගැන්නුවේ. ඉගැන්නුවා විතරක් නෙවෙයි ඒ සත්‍යයට එකඟව ඔහු ජීවත් වුණා. (1 පේතෘස් 2:22) ඉතින් කෙනෙක් යේසුස්ට ඇහුම්කන් දෙනවා නම් දෙවියන් ගැන සත්‍යය ඉගෙනගන්න පුළුවන් වෙනවා. (යොහන් 8:31, 32) දෙවියන් යේසුස් ගැන කියලා තිබුණ හැම අනාවැකියක්ම, හැම පොරොන්දුවක්ම යේසුස් මාර්ගයෙන් ඒ විදිහටම ඉටු වුණා. (යොහන් 1:17; 2 කොරින්ති 1:19, 20; කොලොස්සි 2:16, 17) ඒ නිසා යේසුස්ව “සත්‍යය” විදිහට හඳුන්වන්න පුළුවන්.

 “ජීවනයත් මමයි.” යේසුස් මැරුණේ ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන අයට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි. (යොහන් 3:16, 36) යේසුස් මැරුණු අයටත් අනාගතයේදී ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. ඒ නිසා ඔහුව “ජීවනය” විදිහට හඳුන්වන්න පුළුවන්.—යොහන් 5:28, 29; 11:25.

 “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න කැමති කෙනෙක් යේසුස් ඉටු කරපු ඒ වැදගත් වැඩ කොටස තේරුම්ගන්න ඕනේ. ඒ වගේ කෙනෙක් දෙවියන්ට කරන යාච්ඤා යේසුස්ගේ නමින් ඉදිරිපත් කරනවා. (යොහන් 15:16) එහෙම කරන එකෙන් එයා පෙන්නනවා යේසුස් ක්‍රිස්තුස්ට තියෙන අධිකාරිය එයා තේරුම් අරන් ඉන්නවා කියලා. ඒ වගේම ගැලවීම ලැබෙන්නේ යේසුස් මාර්ගයෙන් විතරයි කියලත් එයා පිළිගන්නවා.—ක්‍රියා 4:12; ෆිලිප්පි 2:8-11.

යොහන් 14:6 අවට පද

 යොහන් 13 සිට 17 පරිච්ඡේදවල සඳහන් වෙන්නේ යේසුස් මැරෙන්න කලින් රාත්‍රියේදී ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට දීපු උපදෙස්. යේසුස් ඔහුටත් ඔහුගේ පියාටත් දිගටම විශ්වාසවන්තව ඉන්න, ආදරේ කරන්න සහ කීකරු වෙන්න කියලා එයාලව දිරිගැන්නුවා. (යොහන් 14:1, 12, 15-17, 21, 23, 24) ඒ වගේම යේසුස් තමන්ට පියාණන් එක්ක කොච්චර කිට්ටු බැඳීමක් තියෙනවාද කියලත් එයාලට පැහැදිලි කළා. (යොහන් 14:10, 20, 28, 31) තමන් ආයෙත් ස්වර්ගයට ගියත් ගෝලයන්ව කවදාවත් තනි කරන්නේ නැහැ කියලත් ඔහු පොරොන්දු වුණා. (යොහන් 14:18) ඒ වගේම “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි” කියලත් යේසුස් පොරොන්දු වුණා. (යොහන් 14:25-27) ඒ විදිහට ඉස්සරහාට අද්දකින්න වෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න යේසුස් ඔහුගේ ගෝලයන්ව පුළුවන් හැම විදිහකින්ම සූදානම් කළා.