Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ෆිලිප්පි 4:8 - “සැබෑ, . . . දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න”

ෆිලිප්පි 4:8 - “සැබෑ, . . . දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න”

 “එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලිප්පි 4:8, ‘නව ලොව පරිවර්තනය.’

 “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.”—ෆිලිප්පි 4:8, ‘පැරණි අනුවාදය.’

ෆිලිප්පි 4:8 අදහස

 අපි හිතන දේවල් ගැන දෙවියන් ගොඩක් සැලකිලිමත්. (ගීතාවලිය 19:14) විශේෂයෙන්ම ඔහු ඒ ගැන සැලකිලිමත් වෙන්නේ අපේ සිතුවිලි අපි වැඩ කරන විදිහට බලපානවා කියලා ඔහු දන්න නිසයි. (මාක් 7:20-23) ඒ නිසා දෙවියන්ව සතුටු කරන්න නම් අපි ඔහු අකමැති දේවල් අපේ හිතෙන් අයින් කරලා ඔහු කැමති දේවල් ගැන හිතන්න උත්සාහ කරන්න ඕනේ.

 ඒ පදයේ ක්‍රිස්තියානීන් “මනස නිරතුරුවම යොමු කරන්න” ඕන දේවල් ඒ කියන්නේ පුරුද්දක් විදිහට හිතන්න ඕන දේවල් අටක් ගැන විස්තර කරනවා. අපි දැන් ඒ ගැන බලමු.

  •   “සැබෑ” කියන එකෙන් යහපත්, සත්‍යය සහ විශ්වාසවන්ත දේවල් අදහස් වෙනවා. විශේෂයෙන්ම දෙවියන්ගේ වචනය වන බයිබලේ තියෙන්නේ සැබෑ, සත්‍ය දේවල් කියලා කියන්න පුළුවන්.—1 තිමෝති 6:20.

  •   “ගෞරවනීය” කියන එකෙන් අදහස් කරන්නේ වැදගත්කමෙන් වැඩි දේවල්. නොවටිනා, වැදගත්කමින් අඩු, සැහැල්ලුවට ගන්න පුළුවන් දේවල් ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. කෙනෙක් ගෞරවනීය දේවල් ගැන හිතන තරමට දෙවියන් වෙනුවෙන් හරි දේ කරන්න එයාට තියෙන අධිෂ්ඨානයත් වැඩි වෙනවා.—තීතස් 2:6-8.

  •   “ධර්මිෂ්ඨ” කියන එකෙන් අදහස් වෙන්නේ අපි තීරණ ගනිද්දී, සැලසුම් යොදද්දී මිනිස්සුන්ගේ ප්‍රඥාවට අනුව ඒක කරනවා වෙනුවට දෙවියන්ගේ උසස් ප්‍රමිතිවලට අනුව ඒක කරන එකයි.—හිතෝපදේශ 3:5, 6; 14:12.

  •   “පවිත්‍ර” කියන එකෙන් අදහස් වෙන්නේ ලිංගික කාරණාවලදී විතරක් නෙවෙයි ජීවිතේ හැම දේකදීම අපේ සිතුවිලි පිරිසිදුව, ශුද්ධව තියෙන්න ඕනෙ කියන එකයි.—2 කොරින්ති 11:3.

  •   “ප්‍රේමයට දායක වන” කියද්දී ඒකෙන් වෛරය, දැඩි අමනාපය, වාදවිවාද වගේ දේවල් වෙනුවට අපේ හිතේ ආදරය ඇති කරන දේවල් ඇතුළත් වෙනවා.—1 පේතෘස් 4:8.

  •   “ඔබින” කියන වචනයෙන් අදහස් වෙන්නේ කෙනෙක්ට හොඳ නමක් දිනාගන්න උදව් වෙන දේවල් සහ දෙවියන් ගැන ගරුබියක් තියෙන අය හොඳයි කියලා පිළිගන්න දේවල්.—හිතෝපදේශ 22:1.

  •   “නිර්මල” කියන එකෙන් අදහස් වෙන්නේ දෙවියන්ගේ මිම්මෙන් හුඟක් ඉහළයි කියන එකයි. නිර්මල දේවල් හැම තිස්සෙම දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලටත් එකඟයි. ඒ වගේම නිර්මල දේවල් 100%ක් යහපත්.—2 පේතෘස් 1:5, 9.

  •   “ප්‍රශංසනීය” කියන එකෙන් කෙනෙක් ඇත්තටම අගය කරන්න ඕනෙ දේවල් අදහස් වෙනවා. විශේෂයෙන්ම දෙවියන්ගේ ඇස් ඉස්සරහා ප්‍රශංසනීය දේවල්. දෙවියන් කරලා තියෙන ශ්‍රේෂ්ඨ දේවල් ගැන හොඳට හිතලා ඒ ගැන ඔහුට ප්‍රශංසා කරන එකත් ඒකට ඇතුළත්.—ගීතාවලිය 78:4.

ෆිලිප්පි 4:8 අවට පද

 ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් මේ ලිපිය ලියද්දී එයා හිටියේ රෝමයේ නිවාස අඩස්සියේ. හැබැයි බයිබල් විශාරදයන් කියන්නේ ෆිලිප්පිවරුන්ට ලියපු මේ ලිපිය “සතුටින් පිරුණු ලිපියක්” කියලා. මොකද පාවුල් හිටියේ ගොඩක් සතුටින් කියලා මේ ලිපියේ තියෙන වචනවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම පාවුල් ලියපු වචනවලින් එයාගේ හිතේ ෆිලිප්පිවරුන්ට තිබුණ ආදරයත් එයා දැනෙන්න සැලැස්සුවා.—ෆිලිප්පි 1:3, 4, 7, 8, 18; 3:1; 4:1, 4, 10.

 ෆිලිප්පියේ හිටිය සහෝදර සහෝදරියන්ට පාවුල් හුඟක් ආදරේ කළා. එයා අද්දැකපු සතුට, සාමය එයාලත් අද්දකිනවා දකින්නයි පාවුල්ට ඕනෙ වුණේ. (ෆිලිප්පි 2:17, 18) ඒ නිසා ඒ ලිපියේ අන්තිමට පාවුල් එයාලට දිරිගන්වනවා නිතරම සතුටින් ඉන්න, සමබරව සහ සාධාරණව හිතන්න පුරුදු වෙන්න, දෙවියන්ට යාච්ඤා කරලා ඔහු මතම රඳා ඉන්න කියලා. ඒ වගේම හිතේ සාමය රැකගන්නත් දෙවියන් එක්ක සමාදානයෙන් ඉන්න උදව් වෙන දේවලට නිරතුරුව මනස යොමු කරන්නත් පාවුල් එයාලව දිරිගැන්නුවා.—ෆිලිප්පි 4:4-9.

 ෆිලිප්පි පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.