Skip to content

නිර්මාණයක්ද?

පිරිසිදුවට ඉන්න කැමති වඩු කුහුඹුවා

පිරිසිදුවට ඉන්න කැමති වඩු කුහුඹුවා

 පිරිසිදුකම කියන්නේ කෘමීන්ට අත්‍යවශ්‍ය දෙයක්. මොකද උන් අපිරිසිදුයි නම් පියාඹන්න, නඟින්න බහින්න සහ වටපිටාවේ වෙන්නේ මොනවාද කියලා දැනගන්න උන්ට බැහැ. උදාහරණෙකට කුහුඹුවෙකුගේ ස්පර්ශක අපිරිසිදුයි නම් ඌට එහේ මෙහේ යන්න, පණිවිඩ හුවමාරු කරගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම ගඳ සුවඳ දැනෙන එකත් අඩු වෙනවා. සත්ව විද්‍යාඥයෙක් වන ඇලෙක්සැන්ඩර් හැක්මන් මේ වගේ අදහසක් පළ කළා. “අපිරිසිදු කෘමීන් කොහේවත් නැහැ. අවට පරිසරයේ තියෙන දේවල් ගෑවිලා අපවිත්‍ර වුණාම ශරීරය පිරිසිදු කරගන්න ක්‍රමයක් උන්ට තියෙනවා.”

 මේ ගැන හිතන්න: විද්‍යාඥ හැක්මන් සහ ඔහු එක්ක වැඩ කරන අය එක්තරා වඩු කුහුඹු විශේෂයක් (Camponotus rufifemur) උන්ගේ ස්පර්ශක පිරිසිදු කරගන්න විදිහ ගැන අධ්‍යයනය කළා. වඩු කුහුඹුවන්ගේ ඉදිරි පාදවල අග කොටසේ බ්‍රෂ් එකක වගේ සියුම් කෙඳි පිහිටලා තියෙනවා. ඌ පාදයේ ඒ කොටස නවලා ස්පර්ශකය අල්ලගන්නවා. ඊටපස්සේ ඌ ස්පර්ශකය ඌගේ පාදයේ ඒ නවපු කොටස අතරින් අදිනවා. පාදයේ නවපු කොටසේ කෙඳි පිහිටලා තියෙන්නේ පේළි 3කට. මුලින්ම තියෙන්නේ ගන කෙඳි පේළිය. කුහුඹුවා ඒ කෙඳි අතරින් ස්පර්ශකය යවද්දී ඒකේ දැවටිලා තියෙන ප්‍රමාණයෙන් ටිකක් විශාල කුණු කෑලි ඉවත් වෙනවා. කුහුඹුවාගේ ස්පර්ශකවලත් පුංචි කෙඳි තියෙනවා. ඒ කෙඳිවල දැවටිලා තියෙන කුණු ඉවත් වෙන්නේ කුහුඹුවාගේ පාදයේ ඊළඟ පේළියේ තියෙන කෙඳිවලින්. මොකද ඒ පේළියේ කෙඳි පිහිටලා තියෙන්නේ කුහුඹුවාගේ ස්පර්ශකවල තියෙන එක් එක් කෙන්දට යා හැකි පරතරයකින්. කුහුඹුවාගේ පාදයේ ඊළඟ පේළියේ කෙඳි පිහිටලා තියෙන්නේ ඊටත් වඩා අඩු පරතරයකින්. ඒ නිසා ස්පර්ශකය ඒ අතරින් යද්දී ඉතාමත් කුඩා, ඒ කියන්නේ මිනිස් කෙස්ගසකින් 1/80 තරම් කුඩා අංශු පවා ඉවත් වෙනවා.

 වඩු කුහුඹුවා ස්පර්ශක පිරිසිදු කරගන්න විදිහ බලන්න.

 කුහුඹුවාට තියෙන ඒ හැකියාව නිෂ්පාදන ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් වෙයි කියලා විද්‍යාඥ හැක්මන් ඇතුළු කණ්ඩායම විශ්වාස කරනවා. උදාහරණයකට මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන යම් දෙයක් නිෂ්පාදනය කරද්දී පිරිසිදුකම අත්‍යවශ්‍යයි. මොකද පුංචි දූවිලි අංශුවක් නිසා වුණත් ඒවායේ ක්‍රියාකාරිත්වයට හානියක් වෙන්න පුළුවන්. කුහුඹුවන් ස්පර්ශක පිරිසිදු කරගන්න විදිහ ආදර්ශයට අරන් මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥ හැක්මන් ඇතුළු කණ්ඩායම හිතනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ස්පර්ශක පිරිසිදු කරගැනීමේ හැකියාව වඩු කුහුඹුවාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළ නිසාද?