Skip to content

පටුනට යන්න

දහසයවෙනි පරිච්ඡේදය

නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්

නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්

1-3. (අ) රජුව හමු වීමට යෑම එස්තර්ට අභියෝගයක් වුණේ ඇයි? (ආ) එස්තර්ව දුටු රජු කළේ මොනවාද?

එස්තර් ටිකෙන් ටික සිංහාසනය වෙත පියවර තබද්දී ඇගේ හද ගැස්ම වේගවත් වෙනවා. ෂූෂන් මාලිගාවේ ඇතුල් මළුවේ පවතින්නේ මීයට පිම්බාක් මෙන් නිහැඬියාවක්. මඳකට හෝ ඒ නිහඬ බව බිඳෙන්නේ එස්තර් බිසවගේ අඩි ශබ්දයෙන් හා ඇගේ රාජකීය වස්ත්‍රයෙන් නැඟෙනා හඬෙන් පමණයි. රාජකීය මළුවේ තිබෙන සුවිශාල කුලුනු දෙසවත් ලෙබනොන්වලින් ගෙනා දේවදාර ලීවලින් නිම වූ අලංකාරවත් කැටයම් සහිත සිවිලිම දෙසවත් ඇය බලන්නේ නැහැ. ඇගේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ රජු වෙතටයි. ඇගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඔහු ගන්නා තීරණය අනුවයි.

2 පුදුමයෙන් එස්තර් දෙස බලන රජු රන් යෂ්ටිය දිගු කරනවා. රජු කළ ඒ දෙය නිසා එස්තර්ගේ ජීවිතය රැකෙනවා. ඇය රජුගේ ආරාධනාවක් නොමැතිව රජුව හමු වීමට යෑම මරණ දඬුවම ලැබිය යුතු වරදක් වුණත් රජු රන් යෂ්ටිය දිගු කිරීමෙන් පෙන්නුම් කළේ ඇගේ වරදට සමාව ලැබෙන බවයි. ඉන්පසු ඇය රජු ළඟට පැමිණ රන් යෂ්ටියේ ඉහළ කෙළවරට අත තබනවා.—එස්ත. 5:1, 2.

රජු පෙන්වූ කරුණාව එස්තර් බොහෝ සේ අගය කළා

3 ෂූෂන් මාලිගාවට ඇතුල් වන ඕනෑම කෙනෙකුට අහෂ්වේරොෂ් රජුට මොන තරම් ධන සම්භාරයක් තිබෙනවාද කියා දැකගත හැකියි. ඉපැරණි කාලවලදී පර්සියානු පාලකයන් පැළඳූ රාජකීය වස්ත්‍ර අද දින ඩොලර් මිලියන සිය ගණනක් පමණ වටින බව විශ්වාස කරනවා. එතරම් ගාම්භීර පෙනුමකින් සැරසී සිටි ඒ බලවත් රජුගේ දෑස්වල තම බිසව කෙරෙහි ආදරයක් දක්නට තිබෙනවා. රජු කාරුණිකව ඇගෙන් මෙසේ අසනවා. “මගේ බිසව එස්තර්, ඔබට අවශ්‍ය කුමක්ද? ඒ දේ මට කියන්න. ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම එය ඔබට දෙනවා.”—එස්ත. 5:3.

4. එස්තර්ට මුහුණ දීමට තිබෙන්නේ මොන වගේ අභියෝගවලටද?

4 එස්තර් මේ වන විටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයකින් හා නිර්භීතකමින් ක්‍රියා කර තිබෙනවා. ඇය තම ජාතිය බේරාගැනීම සඳහා රජුව මුණගැසීමට පැමිණීමෙන් එය පැහැදිලියි. රජුව හමු වීමෙන් ඇගේ මුල් පියවර සාර්ථක වුණත් ඇයට තවත් බොහෝ දේ කරන්න තිබෙනවා. ඇගේ ඊළඟ පියවර වෙන්නේ මේ බලවත් රජුගේ හිතෛෂි උපදේශක රජුව රවටා තම ජාතිය විනාශ කරන්න කුමන්ත්‍රණයක් යොදා තිබෙන බව රජුට එත්තුගැන්වීමයි. එස්තර් එය කරන්නේ කොහොමද? ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘කතා කිරීමට සුදුසු කාලය’ තෝරාගත්තා

5, 6. (අ) දේශනාකාරයා 3:1, 7හි ප්‍රතිපත්තිය එස්තර් අදාළ කරගත්තේ කොහොමද? (ආ) ඇය තම ස්වාමිපුරුෂයාට කතා කළේ නුවණැතිව කියා පවසන්න පුළුවන් ඇයි?

5 තමන් පැවසීමට පැමිණි කාරණය එස්තර් ප්‍රසිද්ධියේම රජුට පවසයිද? එසේ කිරීම රජුට කරන නිග්‍රහයක්. ඒ විතරක් නෙවෙයි දුෂ්ට හාමාන්ට තමන්ගේ වරද වසාගැනීම සඳහා නිදහසට කරුණු කීමටත් එය කදිම අවස්ථාවක් වේවි. දැන් එස්තර් මොනවා කරයිද? ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇති’ බව බයිබලයේ සඳහන් වෙනවා. (දේශ. 3:1, 7) එස්තර්ව හදා වඩා ගත් මොර්දෙකයි එවන් ප්‍රතිපත්ති ගැන ඇයට කුඩා කාලයේදීම කියා දෙන්න ඇති. ‘කතා කිරීමට සුදුසු කාලය’ ඇය තෝරාගත්තේ ඒ නිසයි.

6 රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එස්තර් මෙසේ පවසනවා. “රජතුමනි, ඔබ මගේ ආරාධනාව පිළිගැනීමට කැමති නම් මම ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන භෝජන සංග්‍රහයට හාමාන් සමඟ පැමිණෙන්න කියා ඉල්ලා සිටිනවා.” (එස්ත. 5:4) ඊට එකඟ වූ රජු එම භෝජන සංග්‍රහයට පැමිණෙන ලෙස හාමාන්ට පණිවිඩයක් යවනවා. එස්තර් නුවණැතිව ක්‍රියා කිරීම නිසා ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෞරවය රැකුණා. ඒ වගේම ඇගේ ප්‍රශ්නය ගැන කතා කිරීමට වඩාත් සුදුසු වේලාවක් තෝරාගැනීමටත් හැකි වෙනවා.හිතෝපදේශ 10:19 කියවන්න.

7, 8. එස්තර් පැවැත්වූ පළවෙනි භෝජන සංග්‍රහයේදී සිදු වුණේ කුමක්ද? ඇගේ සිතේ තිබුණු දේ එදින ඇය පැවසුවේ නැත්තේ ඇයි?

7 එස්තර්, භෝජන සංග්‍රහයට රජු කැමතිම ආහාර පිළියෙල කරන්නත් සිත සතුටු කරන වයින් පිළිගන්වන්නත් අමතක කරන්නේ නැහැ. (ගීතා.104:15) ඒ හැම දෙයකින්ම සතුටට පත් වන රජු එස්තර්ට පවසන්න තිබෙන්නේ මොනවාද කියා නැවත වතාවක් අසනවා. එස්තර් මේ වතාවේදීත් තමන්ගේ සිතේ තිබෙන දෙය රජුට පවසන්නේ නැහැ.

8 ඊළඟ දවසෙත් භෝජන සංග්‍රහයකට පැමිණෙන්න කියා ඇය රජුටත් හාමාන්ටත් ආරාධනා කරනවා. (එස්ත. 5:7, 8) තම සෙනඟගේ ජීවිත අනතුරේ තිබියදී ඒ ගැන රජුට පවසන්න ඇය ප්‍රමාද කරන්නේ ඇයි? ඇය එසේ කරන්නේ එය පැවසීමට සුදුසුම වේලාව තෝරාගැනීමට අවශ්‍ය නිසයි. ඒ වගේම තම ස්වාමිපුරුෂයාට ඇය මොන තරම් ගෞරව කරනවාද කියා පෙන්වීමටත් ඇයට අවශ්‍ය වෙනවා.

9. ඉවසීම වටිනා ගුණාංගයක් වෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපිට එස්තර්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

9 ඉවසීම ඉතාමත් අනර්ඝ ගුණාංගයක්. එස්තර් යම් පීඩනයකින් සිටියත් ඒ ගැන කතා කරන්න ඉක්මන් වෙනවා වෙනුවට ඒ සඳහා සුදුසු වේලාව පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියා. ඉන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සමහර අවස්ථාවලදී යම් අසාධාරණ තත්වයන් නිවැරදි කළ යුතුයි කියා අපි හැමෝටම හැඟී ඇති. එවැනි අවස්ථාවලදී ඒ ගැන උසස් නිලධාරියෙකුට පවසන්න සිදු වුණොත් ඉක්මන් නොවී ඒ සඳහා සුදුසුම කාලය එනතෙක් ඉවසිලිවන්තව බලා සිටින්න. ‘ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක’ කියා හිතෝපදේශ 25:15හි සඳහන් වෙනවා. ඒ නිසා අපිත් කතා කිරීමට සුදුසුම කාලය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිමින් කාරුණිකව කතා කරනවා නම් ගල් හිත් පවා මෙලෙක් වීමට ඉඩ තිබෙනවා. බුද්ධිමත් ලෙස ඉවසීමෙන් ක්‍රියා කළ එස්තර්ට යෙහෝවා දෙවි ආශීර්වාද කළ ආකාරය ගැන දැන් බලමු.

යුක්තියට මඟ පාදන ඉවසීම

10, 11. පළමුවන භෝජන සංග්‍රහයෙන් පසුව හාමාන්ගේ සතුට අහිමි වුණේ ඇයි? බිරිඳ සහ මිතුරන් ඔහුට පැවසුවේ මොනවාද?

10 එස්තර් පැවැත්වූ භෝජන සංග්‍රහයට සහභාගි වූ හාමාන් සිතුවේ තමාට රජුගෙත් එස්තර් බිසවගෙත් අනුමැතිය ලැබී තිබෙනවා කියායි. ඒ ගැන හාමාන් “ප්‍රීතියෙන්” ඉපිල ගියත් රජුගේ දොරටුව අසල සිටි මොර්දෙකයිව දැකීමෙන් ඔහුට ඇති වෙන්නේ “මහත් කෝපයක්.” (එස්ත. 5:9) අපි කලින් පරිච්ඡේදයෙන් බැලූ ලෙස යුදෙව්වෙක් වූ මොර්දෙකයි හාමාන්ට වැඳ වැටී ආචාර කළේ නැහැ. ඔහු එසේ කළේ හාමාන්ට අගෞරවය කිරීමේ චේතනාවෙන් නොව යෙහෝවා දෙවිගේ සිත රිද්දන්න ඔහු අකමැති වූ නිසයි.

11 කෝපයෙන් තම නිවසට යන හාමාන්, මොර්දෙකයි තමන්ට සැලකූ ආකාරය ගැන තම බිරිඳටත් මිත්‍රයන්ටත් පවසනවා. එවිට ඔවුන් පැවසුවේ අඩි 72ක් උස කණුවක් සාදා මොර්දෙකයිව එහි එල්ලීමට රජුගෙන් අවසර ගන්න කියායි. හාමාන් ඊට එකඟ වෙනවා.—එස්ත. 5:12-14.

12. ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල කියවන්න කියා රජු පැවසුවේ ඇයි? රජු දැනගත්තේ කුමක්ද?

12 එදින රාත්‍රියේ රජුට නින්ද ගියේ නැහැ. ඒ නිසා රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල ගෙනැවිත් තමන්ට ඇසෙන සේ කියවන්න කියා ඔහු සේවකයන්ට අණ කරනවා. රජුව මරා දැමීමට කළ කුමන්ත්‍රණයක් ගැන මොර්දෙකයි හෙළි කළ ආකාරය ගැන වාර්තාවක් එහි තිබුණා. මොර්දෙකයි එය හෙළි කළ ආකාරයත් වරදකරුවන්ට මරණ දණ්ඩනය දුන් ආකාරයත් රජුට සිහි වෙනවා. ඒ වෙනුවෙන් මොර්දෙකයිට ලබා දුන්නේ මොනවාද කියා රජු සේවකයන්ගෙන් අසනවා. එවිට ඔවුන් පවසන්නේ මොර්දෙකයිට කිසිම දෙයක් ලබා නොදුන් බවයි.එස්තර් 6:1-3 කියවන්න.

13, 14. (අ) හාමාන්ගේ සැලසුම අසාර්ථක වුණේ කොහොමද? (ආ) හාමාන්ගේ බිරිඳ හා මිතුරන් පැවසුවේ කුමක්ද?

13 එය ඇසීමෙන් කලබලයට පත් වන රජු මොර්දෙකයි වෙනුවෙන් යමක් කිරීමට පත් කළ හැකි නිලධාරීන් සිටිනවාද කියා සොයා බලනවා. ඒ අතරතුරේදී හාමාන්, මොර්දෙකයිව කණුවක එල්ලා දැමීමට රජුගේ අවසර ගැනීම සඳහා පාන්දරින්ම රජමාලිගාවට පැමිණෙනවා. නමුත් ඔහු වචනයක්වත් පවසන්න කලින් තම අනුමැතිය දිනාගෙන තිබෙන කෙනෙකුට ගෞරවය දැක්වීම සඳහා කළ හැක්කේ කුමක්ද කියා රජු ඔහුගෙන් අසනවා. රජු ගෞරවය පිරිනැමීමට සූදානම් වෙන්නේ තමන්ට කියා සිතූ හාමාන් උපරිම ගෞරවයක් තමාට ලබාගැනීමේ අදහසින් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තැනැත්තාට රාජ වස්ත්‍රයක් අන්දවා ඔහුව රජුගේ අශ්වයා පිට හිඳුවා, නුවරෙහි ප්‍රධාන මංසන්ධිය වටා ගෙන යෑමට උසස් අධිපතීන්ගෙන් කෙනෙකුට භාර දෙන්න කියාත් රජුගේ ගෞරවය ඔහුට ලැබී තිබෙන බව සියල්ලන්ටම ඇසෙන සේ පවසන්න අධිපතියාට අණ කරන්න කියාත් ඔහු රජුට පවසනවා. හාමාන් ඒ සියල්ල පැවසීමෙන් අනතුරුව තමාගේ ගෞරවය දිනාගෙන තිබෙන්නේ මොර්දෙකයි කියා රජු පවසන විට හාමාන්ට කොහොම හැඟෙන්න ඇද්ද! මොර්දෙකයිට ප්‍රශංසා කරමින් ඔහුව නුවර වටා ගෙන යෑමට රජු හාමාන්ව පත් කරද්දී ඔහුට මොනවා හිතෙන්න ඇද්ද!—එස්ත. 6:4-10.

14 ලැජ්ජාවත් කේන්තියත් හිතේ දරාගෙන තමන්ගේ පැවරුම ඉටු කළ හාමාන් ඉතාමත් දුකින් තම නිවසට යනවා. සිදු වූ සියල්ල දැනගත් ඔහුගේ බිරිඳ සහ මිතුරන් පැවසුවේ යුදෙව්වෙක් වූ මොර්දෙකයිට විරුද්ධව නැඟී සිටීමට හාමාන් කිසි දිනක සමත් නොවන බවයි.—එස්ත. 6:12, 13.

15. (අ) එස්තර් ඉවසීමෙන් ක්‍රියා කළ නිසා ලැබුණු ප්‍රතිඵලය කුමක්ද? (ආ) අපි ‘ඉවසිල්ලෙන් බලා සිටින්න’ ඕනේ ඇයි?

15 භෝජන සංග්‍රහය පැවැත්වූ මුල් දිනයේදීම එස්තර් සිතේ තිබුණු දේ ගැන රජුට පැවසුවේ නැති නිසා යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හාමාන්ගේ සැලසුම් අසාර්ථක වී ඔහු ලැජ්ජාවට පත් වෙනවා. සමහරවිට කලින් දවසේ රජුට නින්ද නොයෑමට සලස්වන්න ඇත්තේ යෙහෝවා දෙවි වෙන්න ඇති. (හිතෝ. 21:1) එසේනම් ‘ඉවසිල්ලෙන් බලා සිටින්න’ කියා අපිට දේවවචනයේ උනන්දු කර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. (මීකා 7:7 කියවන්න.) අපි යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඉවසිලිවන්තව බලා සිටිනවා නම් නොසිතන ආකාරයට දෙවි අපේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු ලබා දෙනවා.

ඇය නිර්භීතව කතා කළා

16, 17. (අ) එස්තර්ට ‘කතා කිරීමට සුදුසු කාලය’ එළඹුණේ කුමන අවස්ථාවේදීද? (ආ) වෂ්ටීට වඩා එස්තර් වෙනස් වුණේ කොහොමද?

16 භෝජන සංග්‍රහය පැවැත්වූ දෙවෙනි දවසේදී සිතේ තිබුණු දේ රජුට පවසන්න ඇයට සිදු වෙනවා. රජු ඇයට අවශ්‍ය කුමක්ද කියා නැවත වතාවක් අසනවා. (එස්ත. 7:2) ඒ නිසා ‘කතා කිරීමට සුදුසු කාලය’ පැමිණ තිබෙන බව එස්තර්ට වැටහෙනවා.

17 ඇය රජුට කතා කිරීමට කලින් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කරන්න ඇති. පසුව ඇය “රජතුමනි, මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම් මගේ ඉල්ලීම ඉටු කර දෙන්න. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයද මගේ සෙනඟගේ ජීවිතද බේරා දෙන ලෙසයි” කියා පවසනවා. (එස්ත. 7:3) රජු දෙන ඕනෑම තීරණයකට ඇය ගරු කරන බව ඇය පැවසූ දෙයින් පැහැදිලියි. රජුට කිසිම ගෞරවයක් නොදැක්වූ වෂ්ටී බිසවට වඩා ඇය කොතරම් වෙනස්ද! (එස්ත. 1:10-12) රජු හාමාන්ව විශ්වාස කිරීම ගැන එස්තර් දොස් නඟන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ ජීවිතය බේරා දෙන ලෙස ඇය ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

18. එස්තර් සිතේ තිබුණු දෙය රජුට පැවසුවේ කොහොමද?

18 තම බිසවගේ ජීවිතය අනතුරේ තිබෙන බව දැනගැනීමෙන් රජු පුදුමයට පත් වූ බවට සැකයක් නැහැ. එවැනි දෙයක් කිරීමට තරම් හයියක් තිබෙන්නේ කාටද කියා රජු කල්පනා කරන්න ඇති. එස්තර් මෙසේ පවසනවා. “මාවත් මගේ සෙනඟවත් විකුණා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අපව සම්පූර්ණයෙන්ම විනාශ කර මරා දැමීමටයි. අපිව දාසකමට විකුණුවා නම් මට නිහඬව ඉන්න තිබුණා. නමුත් මේ මහා විපත සිදු වුණොත් ඉන් රජතුමාට මහත් පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා ඊට ඉඩ නොදිය යුතුයි.” (එස්ත. 7:4) අවස්ථාව පැමිණි විට ඇය ගැටලුව ගැන පැහැදිලිව පවසනවා. යුදෙව් ජාතියට සිදු වීමට යන විනාශයෙන් රජුට මහත් නින්දාවක් ගෙන දෙන නිසා ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියාත් ඇය රජුට පවසනවා.

19. සිත දිනාගත හැකි ආකාරයෙන් කතා කරන්නේ කෙසේද කියා එස්තර්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 සිත දිනාගත හැකි ආකාරයෙන් කතා කරන්නේ කෙසේද කියා අපිට එස්තර්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන්. බරපතළ ප්‍රශ්නයක් ගැන ඔබේ මිතුරෙකු සමඟ හෝ අධිකාරියක් හොබවන කෙනෙකු සමඟ කතා කිරීමට සිදු වුණොත් බොහෝ ඉවසිලිවන්තව, අවංකව සහ ගෞරවයෙන් කතා කිරීමට උත්සාහ කරන්න.—හිතෝ. 16:21, 23.

20, 21. (අ) හාමාන්ගේ කුමන්ත්‍රණය එස්තර් හෙළි කළේ කොහොමද? එය දැනගත් රජු ක්‍රියා කළේ කොහොමද? (ආ) හාමාන් කළේ මොනවාද?

20 එස්තර් පැවසූ දෙයින් කෝප වූ අහෂ්වේරොෂ් රජු “එවැනි දෙයක් කරන්න තරම් එඩිතර වූ පුද්ගලයා කවුද” කියා අසනවා. ඒ අවස්ථාවේදී ඇඟිල්ල හාමාන් දෙසට දිගු කරමින් “ඒ සතුරා වෙන කවුරුත් නෙවෙයි මේ දුෂ්ට හාමාන්” කියා එස්තර් පවසනවා. මෙවැනි දෙයක් සිදු වෙයි කියා හීනෙකින්වත් නොසිතූ හාමාන් භයෙන් වෙව්ලන්න ඇති. තම උපදේශක ලෙස ක්‍රියා කළ හාමාන් තමාව රවටමින් නිකුත් කළ නියෝගය නිසා තම බිරිඳගේ ජීවිතයත් අනතුරේ දැමීම ගැන දැනගත් අවස්ථාවේදී අහෂ්වේරොෂ් රජුට මොන තරම් කෝපයක් ඇති වෙන්න ඇද්ද! තමාට දැනුණු ආවේගය පාලනය කරගත නොහැකිව රජු මාලිගාවෙන් පිට වී උයනට යනවා.—එස්ත. 7:5-7.

එස්තර් නිර්භීතව හාමාන්ගේ කූට උපාය හෙළි කළා

21 රජු තමන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව තේරුම්ගත් හාමාන් එස්තර් ළඟට ගොස් තම ජීවිතය බේරා දෙන මෙන් කන්නලව් කරනවා. රජු නැවත එම ස්ථානයට පැමිණෙන විට එස්තර්ගේ යහන මත සිටි හාමාන්ව දකින රජු කෑගසමින් ‘ඔබ මාගේ බිසවව දූෂණය කරන්නද හදන්නේ’ කියා අසනවා. රජු කළ එම චෝදනාව නිසා තමාට හිමි වෙන්නේ මරණ දණ්ඩනය බව හාමාන් තේරුම්ගන්නවා. ඒ සැණින් පැමිණි රජුගේ නිලධාරීන් හාමාන්ගේ මුහුණ වසා ඔහුව රැගෙන යනවා. මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ කණුවක් ගැන රජුගේ සේවකයෙක් රජුට දැනුම් දෙන නිසා ඒ කණුවේම හාමාන්ව එල්ලන්න කියා රජු අණ කරනවා.—එස්ත. 7:8-10.

22. දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය නැති වීමට හා බලාපොරොත්තු සුන් වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් එස්තර්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

22 අද අපි ජීවත් වෙන්නේ අයුක්තිය රජ යන කාලයක බවට ඔබත් එකඟ වෙයි. එස්තර් එවැනි තත්වයකට මුහුණ දුන්නත් ඇය කිසිවිටක දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නැති කරගත්තේවත් බලාපොරොත්තු සුන් වීමට ඉඩ දුන්නේවත් නැහැ. සුදුසු වේලාව පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටි ඇය නිර්භීතව තමන්ගේ ප්‍රශ්නය ගැන පැවසුවා. ඉන්පසු කාරණය යෙහෝවා දෙවිට භාර දුන්නා. යෙහෝවා දෙවි එස්තර්ට උපකාර කළා හා සමානව අදටත් තම සේවකයන්ට උපකාර කිරීමට සූදානමින් සිටිනවා. දෙවි, හාමාන් කළ දුෂ්ටකම්වලට දඬුවම් කරමින් ඔහු අනුන්ට කැපූ වළේ ඔහුවම වැටෙන්න සැලැස්සුවා. අද සිටින දුෂ්ටයන්ටත් දෙවි කරන්නේ ඒ දෙයමයි.ගීතාවලිය 7:11-16 කියවන්න.

ඇය ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

23. (අ) රජු මොර්දෙකයිට සහ එස්තර්ට ලබා දුන්නේ මොනවාද? (ආ) යාකොබ් පැවසූ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (“ අනාවැකියක් ඉටු වෙයි!” නමැති කොටුව බලන්න.)

23 එස්තර්ව හදා වඩා ගෙන තිබෙන්නේත් තමන්ගේ ජීවිතය රැක දුන් මොර්දෙකයි බව අහෂ්වේරොෂ් රජු දැනගන්නවා. පසුව හාමාන් දැරූ අගමැති තනතුර ඔහු මොර්දෙකයිට පිරිනමනවා. හාමාන්ගේ නිවස සහ ඔහු සතුව තිබුණු සෑම සම්පතක්ම රජු එස්තර්ට පවරනවා. ඇය හාමාන්ගේ නිවස මොර්දෙකයිගේ භාරයේ තබනවා.—එස්ත. 8:1, 2.

24, 25. (අ) හාමාන්ගේ කූට උපාය හෙළි කළ පසුවත් එස්තර් නිහඬ නොවුණේ ඇයි? (ආ) ඇය නැවතත් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළේ කොහොමද?

24 එස්තර්ගේ හා මොර්දෙකයිගේ ජීවිත බේරුණු නිසා ඇය දැන් නිහඬවෙයිද? නැහැ. හාමාන් යෙදූ කූට උපාය නිසා සියලුම යුදෙව්වන්ගේ ජීවිත තවමත් තිබෙන්නේ අනතුරේයි. හාමාන් යුදෙව්වන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දාදු දමා දිනයක් යොදාගෙන තිබුණා. (එස්ත. 9:24-26) එම දිනයට තව මාස කිහිපයක් තිබුණත් එම විනාශය වැළැක්වීමට පියවර ගන්න හැකි වෙයිද?

25 එස්තර් නැවත වතාවක් ජීවිතය අනතුරේ දමමින් රජුගෙන් ආරාධනයක් නොමැතිව රජු ඉදිරියට යනවා. මේ වතාවේදී ඇය කන්නලව් කරන්නේ තමන්ගේ ජාතියට විරුද්ධව පැනවූ නීතිය අහෝසි කරන්න කියායි. නමුත් පර්සියානුවන්ගේ නීතියට අනුව යම් නීතියක් පැනෙව්වොත් එය වෙනස් කිරීමට කිසිම කෙනෙකුට බැහැ. (දානි. 6:12, 15) ඒ නිසා අලුත් නීතියක් පැනවීමට රජු මොර්දෙකයිට සහ එස්තර්ට අවසර දෙනවා. ඔවුන් අලුත් නීතියක් පනවා රජුගේ මුද්දෙන් එය මුද්‍රාකර වේගවත් අශ්වයන් පිට නැඟ යන පණිවිඩකරුවන් අතේ මුළු අධිරාජ්‍යය පුරාම යවනවා. ඒ ලියවිල්ලට අනුව සෑම නුවරකම ජීවත් වන යුදෙව්වරුන්ට තම ජීවිත රැකගැනීම සඳහා සංවිධානය වීමට රජු අවසර දී තිබුණා. එමගින් යුදෙව්වන්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා. (එස්ත. 8:3-16) එම පණිවිඩය ලැබීමත් සමඟම ඔවුන් තම සතුරන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වෙනවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි” තම සෙනඟට උපකාර කරන්නේ කෙසේද කියා දැන් බලමු.—1 සාමු. 17:45.

එස්තර් සහ මොර්දෙකයි පර්සියාවේ සිටි යුදෙව්වන්ට අලුත් නීතිය දැනුම් දුන්නා

26, 27. (අ) යෙහෝවා දෙවි යුදෙව්වන්ට ජයග්‍රහණය ලබා දුන්නේ කොහොමද? (ආ) හාමාන්ගේ පුතුන් දසදෙනාව මරා දැමීමත් සමඟම ඉටු වුණේ මොන අනාවැකියද?

26 යුදෙව්වන්ව විනාශ කිරීමට නියම කර තිබුණු දිනය උදා වුණා. අලුතෙන් පත් වූ අගමැති වන මොර්දෙකයි යුදෙව්වෙක් බව දැනගන්නා පර්සියානු නිලධාරීන්ද යුදෙව්වන්ට උපකාර කරනවා. යෙහෝවා දෙවිගේ උපකාරය යුදෙව්වන්ට ලැබුණු නිසා ඔවුන් සටනින් ජය ගන්නවා. තම සෙනඟට හිරිහැරයක් කිරීමට නොහැකි වන ලෙස යෙහෝවා දෙවි යුදෙව්වන්ගේ සතුරන්ව අන්ත පරාජයකට පත් කරනවා. *එස්ත. 9:1-6.

27 කොහොමවුණත් හාමාන්ගේ පුතුන් දසදෙනා ජීවත්ව සිටින තාක් මොර්දෙකයිගේ ජීවිතය අනතුරේ තිබෙන නිසා ඔවුන්වත් මරා දමනවා. (එස්ත. 9:7-10) එමගින් බයිබලයේ සඳහන් අනාවැකියක් ඉටු වුණා. දෙවිගේ සෙනඟට සතුරුකම් පෑ අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බව යෙහෝවා දෙවි කලින්ම පවසා තිබුණා. (ද්වි. 25:17-19) අමලෙක්වරුන්ගෙන් ඉතිරිව සිටි අන්තිම පිරිස හාමාන්ගේ පුතුන් දසදෙනා විය හැකියි.

28, 29. (අ) එස්තර් හා යුදෙව්වන් ක්‍රියා කළේ දෙවිගේ කැමැත්තට එකඟව කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) එස්තර්ගේ ආදර්ශය අද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

28 තරුණ වියේදීම එස්තර්ට විශාල බරක් කරට ගන්න සිදු වෙනවා. යුද්ධ හා මරණ දඬුවම් දීම සඳහා අලුත් නීති සම්පාදනය කිරීම ඒ අතරින් එකක්. එය ඇයට පහසු කාර්යයක් නොවෙන්න ඇති. කොහොමවුණත් ඇය ක්‍රියා කළේ දෙවිගේ කැමැත්තට එකඟවයි. මිනිස් වර්ගයාව පාපයෙන් ගලවාගැනීමට දෙවි එවන බවට පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණීමට නියමිතව තිබුණේ යුදෙව්වන්ගෙන්. (උත්. 22:18) ඒ නිසා යුදෙව්වන්ව සතුරන් අතින් බේරාගැනීමට දෙවි මැදිහත් වුණා. කෙසේවෙතත් අද සිටින දෙවිගේ සේවකයන් කිසිම යුද්ධයකට හවුල් වෙන්නේ නැහැ. එයට හේතුව ගැලවුම්කරු වූ යේසුස් කිසිම ආකාරයකින් යුද්ධවලට හවුල් වෙන්න එපා කියා අණ කර තිබීමයි.—මතෙ. 26:52.

29 නමුත් දෙවිගේ සෙනඟ වන අපි අද වෙනස් ආකාරයේ යුද්ධයක නියැලෙනවා. යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය බිඳ දැමීමට සාතන් ඔහුට හැකි උපරිමය කරනවා. (2 කොරින්ති 10:3, 4 කියවන්න.) එම යුද්ධයට සාර්ථකව මුහුණ දීම සඳහා එස්තර් අපිට කදිම ආදර්ශයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද! අපිත් ඇය මෙන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඉවසිලිවන්තව, නිර්භීතව සහ ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කරමු.

^ 26 ඡේ. පසුවදාත් තම සතුරන්ට විරුද්ධව නැඟී සිටීමට රජු යුදෙව්වන්ට අවසර දෙනවා. (එස්ත. 9:12-14) ආදාර් මාසයේදී ලැබූ එම ජයග්‍රහණය යුදෙව්වන් අදටත් වාර්ෂිකව සමරනවා. එම දිනය යෙදෙන්නේ පෙබරවාරි අග සහ මාර්තු මුල අතර කාලයෙයි. හාමාන් එම දිනය තීරණය කිරීමට දාදු දැමූ නිසා යුදෙව්වන් එම උත්සවය පූරීම් ලෙසත් හඳුන්වනවා.