Skip to content

පටුනට යන්න

ජෝර්ජියාව

මං හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා

මැඩෝනා කන්කියා

මං හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා
  • ඉපදුණේ 1962

  • බව්තීස්ම වුණේ 1990

  • තොරතුරු ජෝර්ජියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා හිටියා. සත්‍යය දැනගන්න හුඟක් අයට උදව් කළා. 2015දී ටිබිලිසිවල මුල්ම වතාවට පවත්වපු ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වුණා.

මං සත්‍යය දැනගත්තේ 1989දී. ඒ කාලයේ මං කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. ජෝර්ජියාවේ සෝවියට් මහා අධිකරණයේ රැස්වීම්වලටත් මං සහභාගි වුණා. ඒක හරියට මේ කාලේ පාර්ලිමේන්තුව වගේ. මං විවාහ වෙන්නත් ලෑස්ති වෙලයි හිටියේ. මං හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා.

අම්මායි, තාත්තායි පුංචි කාලෙදිම මට දෙවි ගැන කියලා දීපු නිසා මට දෙවි ගැන විශ්වාසයක් තිබුණා. සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගද්දී දෙවි ගැන තිබුණු හැම ප්‍රශ්නයකටම මට උත්තර ලැබුණා. ඒ නිසා මං තීරණය කළා යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කරන්න. හැබැයි පවුලේ අය, යාළුවෝ, මං බඳින්න හිටිය කෙනා පවා මගේ තීරණයට කැමති වුණේ නැහැ.

දේශපාලනයට හවුල් වෙන එක වැරදියි කියලා බයිබලයෙන් ඉගෙනගත්ත දේවල්වලින් මං තේරුම්ගත්තා. ඒ නිසා මං කොමියුනිස්ට් පක්ෂයෙනුත් සෝවියට් මහා අධිකරණයෙනුත් අයින් වුණා. සාක්ෂිකරුවෙක් වුණු නිසා නෑදෑයෝ මාව කොන් කළා. බව්තීස්ම වුණාට පස්සේ ප්‍රශ්න තවත් වැඩි වුණා. ඒ නිසා අන්තිමේදී මං ගමෙන් ගිහින් කුටයිසිවල පුරෝගාමි සේවය පටන්ගත්තා.

සාක්ෂිකරුවෙක් වෙන්න මං කැප කරපු දේවල් ගැන දුක හිතෙන්නේ නැද්ද කියලා හුඟක් අය මගෙන් අහනවා. එතකොට මම හරිම සතුටින් “ඒ දේවල් ගැන ළත වෙන්න මට කිසිම හේතුවක් නැහැ” කියලා කියනවා. මං සාක්ෂිකරුවෙක් වුණේ ඇයි කියලා මගේ දෙමව්පියන් තේරුම්ගත්තේ නැතත් පුංචි කාලේ එයාලා දෙවි ගැන මට කියලා දීපු එක මං හුඟක් අගය කරනවා.