Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | මහාචාර්ය යන්-ඩේ ක්සූව්

කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

මහාචාර්ය යන්-ඩේ ක්සූව් තායිවානයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක කලල පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු කාලයක් පරිණාමය විශ්වාස කළත් විද්‍යාඥයෙක් විදිහට පර්යේෂණ කරන්න පටන්ගත්තාට පස්සේ ඔහු හිතන විදිහ වෙනස් වුණා. ඒ ගැන ඔහු අපිට කිව්වේ මෙහෙමයි.

අපිට ඔයාගේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

මං ඉපදුණේ 1966 තායිවානයේ. පොඩි කාලේ හිටියෙත් එහේ. මගේ අම්මයි තාත්තයි බුද්ධාගමයි ටාඕ ආගමයි දෙකම ඇදහුවා. අපි මුතුන්මිත්තන්ටයි පිළිමවලටයි වැන්දා. ඒත් හැම දෙයක්ම හදපු දෙවි කෙනෙක් ඉන්නවා කියලා නම් අපි දැනගෙන හිටියේ නැහැ.

ඔයා ජීව විද්‍යව ඉගෙනගන්න හිතුවේ ඇයි?

පොඩි කාලේ ඉඳන්ම මං සත්තුන්ට හරි ආදරෙයි. මට ඕන වුණේ සත්තුයි මිනිස්සුයි වේදනා විඳින එකෙන් බේරගන්න. ඒ නිසා කාලයක් මං පශු වෛද්‍ය විද්‍යාව ඉගෙනගත්තා. ඊටපස්සේ තමයි කලල විද්‍යාව ඉගෙනගත්තේ. ජීවය ඇති වුණේ කොහොමද කියලා දැනගන්නත් ඒක උදව් වෙයි කියලා මං හිතුවා.

ඔයා පරිණාමය විශ්වාස කළේ ඇයි?

විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ඉගැන්නුවේ හැමදේම ඇති වුණේ පරිණාමයෙන් කියලා. ඒකට සාක්ෂිත් තියෙනවා කියලා එයාලා කිව්ව නිසා මං ඒක විශ්වාස කළා.

ඔයා බයිබලය කියවන්න හිතුවේ ඇයි?

ඒකට හේතු 2ක් තියෙනවා. මිනිස්සු ගොඩක් දෙවිවරුන්ට වඳිනවා. ඒත් ඒ දෙවිවරු අතරින් එක් කෙනෙක් අනිත් දෙවිවරුන්ට වඩා උසස් වෙන්න ඕන කියලා මට හිතුණා. ඒ දෙවියන් කවුද කියලා දැනගන්න මට ඕන වුණා. ඒක මං බයිබලය කියවන්න පෙලඹුණු එක හේතුවක්. දෙවෙනි එක තමයි මං දැනගෙන හිටියා බයිබලය කියන්නේ හුඟක් අය ගරු කරන පොතක් කියලා. ඒ නිසා මං බයිබලයේ තියෙන දේවල් උගන්වන පන්තිවලට ගියා.

1992දී මං බෙල්ජියමේ කතෝලික විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තා. එහෙදී මං ගිය පල්ලියක පූජකයෙක්ගෙන් ඇහුවා මට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පුළුවන්ද කියලා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ.

එතකොට ඔයා බයිබලේ ඉගෙනගත්තේ කොහොමද?

අවුරුදු 2කට විතර පස්සේ රූත් කියන පෝලන්ත ජාතික කාන්තාව මට මුණගැහුණා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. චීන භාෂාව කතා කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දෙවියන් ගැන උගන්නන්න ඕන නිසා එයා චීන භාෂාවත් ඉගෙනගෙන තිබුණා. බයිබලය ඉගෙනගන්න ආසයි කියලා මං දෙවියන්ට යාච්ඤා කළා. ඒ නිසා එයාව හම්බ වුණ එක මට ලොකු සතුටක්.

බයිබලය විද්‍යාව ගැන උගන්වන පොතක් නොවුණත් ඒක විද්‍යව එක්ක ගැටෙන්නේ නැහැ කියලා රූත් මට කියලා දුන්නා. උදාහරණෙකට “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ” කියලා දාවිත් කිව්ව දේ එයා මට බයිබලයෙන් පෙන්නුවා. (ගීතාවලිය 139:16) දාවිත් කිව්ව දේ හරි. අපේ ශරීරයේ අවයව හැදෙන්නත් කලින් ඒවා හැදෙන්න ඕනේ කොහොමද කියලා තොරතුරු සටහන් වෙලයි තියෙන්නේ. බයිබලයේ තියෙන තොරතුරු නිවැරදි නිසා මං තේරුම්ගත්තා ඒක නම් දෙවිගේ වචනයම තමයි කියලා. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන් තමයි එකම සැබෑ දෙවියන් කියලත් මං තේරුම්ගත්තා. 1

දෙවියන් ජීවීන්ව නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ ඇත්ත හොයාගන්න. නැතුව කාගේ හරි මතයක් හරියි කියලා ඔප්පු කරන්න නෙමෙයි. කලල ගැන කරපු අධ්‍යයනවලින් මට තේරුණා ජීවීන් ඇති වුණේ නිර්මාණයකින් කියලා. උදාහරණයකට කර්මාන්ත ශාලවක බඩු හදන විදිහ ගැන හිතන්න. අමුද්‍රව්‍යවල ඉඳන් අවසාන නිෂ්පාදනය ලැබෙන කල් හැම දෙයක්ම හරි වෙලාවට හරි ප්‍රමාණයෙන් හරි පිළිවෙළට ලැබෙන විදිහට ඉංජිනේරුවන් වැඩ සැලසුම් කරනවා. කලලයක් වර්ධනය වෙද්දිත් වෙන්නේ ඒ වගේ ක්‍රියාවලියක්. හැබැයි ඒක හරිම සංකීර්ණයි.

ඒ ක්‍රියාවලිය පටන්ගන්නේ යුක්තානුවකින් නේද?

ඔව් ඇහැට පේන්නේ නැති ඒ සෛලය බෙදෙන්න පටන්ගන්නවා. මුල් අවධියේ හැදෙන සෛලවලට කියන්නේ ප්‍රාථමික සෛල කියලා. 2 හැම පැය 12 ත් 24ත් අතර කාලයක් ඇතුළත මේ සෛල දෙගුණ වෙනවා. අංග සම්පූර්ණ දරුවෙක් හැදෙන්න රුධිර සෛල, අස්ථි සෛල සහ ස්නායු සෛල වගේ එකිනෙකට වෙනස් සෛල වර්ග 200ක් විතර ඕනේ. ප්‍රාථමික සෛලයකට පුළුවන් මේ ඕනම සෛලයක් බවට පත් වෙන්න.

කලල ගැන කරපු අධ්‍යයනවලින් මට තේරුණා ජීවීන් ඇති වුණේ නිර්මාණයකින් කියලා

ඒ විතරක් නෙමෙයි සෛල හරි තැන හරි පිළිවෙළට හැදෙන්නත් ඕනේ. මුලින්ම ඒවායින් හැදෙන්නේ පටක. ඊටපස්සේ ඒවා ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. කලලයක් වර්ධනය වෙන්න ඕන විදිහ ගැන නිශ්චිත තොරතුරු DNAවල අඩංගු වෙනවා. ඒ වගේ ලොකු ක්‍රියාවලියක් සැලසුම් කරන්න කාටද පුළුවන්? මේ හැම දෙයක්ම මොන තරම් හොඳට සැලසුම් කරලා තියෙනවාද කියලා හිතුවාම ජීවය කියන්නේ දෙවියන්ගේ නිර්මාණයක් කියන එක ගැන නම් මට කිසිම සැකයක් නැහැ.

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ ඇයි?

එයාලා පෙන්නපු ආදරේ නිසා. යේසුස් කිව්වා “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා. (යොහන් 13:35) ඒ ආදරේට ජාතිය, සංස්කෘතිය, හමේ පාට මොකක්ද කියන එක වැදගත් නැහැ. මං එයාලාව ආශ්‍රය කරන්න පටන්ගත්තාම ඒ ආදරේ මටත් දැනුණා. ඒ නිසයි මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ.

^ 2. මහාචාර්ය යන්-ඩේ ක්සූව් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන නිසා ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව මිනිස් කලලවලින් ගන්න ප්‍රාථමික සෛල උපයෝගි කරගෙන පර්යේෂණ කරන්නේ නැහැ.