Skip to content

පටුනට යන්න

අලුත් යාළුවන්ව ඇති කරගන්න

අලුත් යාළුවන්ව ඇති කරගන්න

ප්‍රශ්නය

අපි අකමැති අයව ආශ්‍රය නොකරම හිටියොත් එයාලව තවත් පහත් කරලා සලකන්න අපි පෙලඹෙන්න පුළුවන්. අපිට හුඟක් පැතිවලින් සමානකම් තියෙන අපි වගේම අයව විතරක් ආශ්‍රය කරන්න ගියොත් අපි හිතන පතන වැඩ කරන විදිහ තමයි හැම තිස්සේම හරි කියලා හිතන්න අපි පෙලඹෙන්න පුළුවන්.

බයිබල් ප්‍රතිපත්තිය

“ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.”—2 කොරින්ති 6:13.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි ආදරය සහ සැලකිල්ල පෙන්වන්නේ අපිට හුඟක් පැතිවලින් ගැළපෙන අයට විතරයි නම් අපේ හදවත්වල තියෙන ප්‍රේමය තවත් වැඩි කරගන්න අපිට බැරි වෙනවා. එහෙම නොවී ඉන්න නම් විවිධ පැතිවලින් අපිට වඩා වෙනස් අයව යාළුවෝ කරගන්න අපි කැමැත්තෙන් ඉන්න ඕනේ.

අලුත් යාළුවන් ඇති කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන

අනිත් අයව අපි කිට්ටුවෙන් දැන හඳුන ගන්නවා නම් ඒ අය අපිට වඩා වෙනස් වෙන්නේ ඇයි කියලා අපි තේරුම්ගන්නවා. ඒ වගේම අපි එයාලට ළං වෙන්න ළං වෙන්න අපිට එයාලගේ වෙනසක් දැනෙන්නේ නැතුව යනවා. එයාලා ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා වගේම එයාලගේ දුකේදී සැපේදී අපි එයාලත් එක්කම ඉන්නවා.

නසාරිගේ අද්දැකීම බලන්න. කාලයක් එයා සංක්‍රමණිකයන්ව පහත් කරලා සැලකුවා. ඒකෙන් ගොඩ එන්න එයාට උදව් වුණේ මොනවාද කියලා එයා මෙහෙම කියනවා. “මං එයාලා එක්ක කාලය ගත කළා. එකට වැඩ කළා. හුඟක් අය ඒ විදේශිකයන් ගැන කියපු දේවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අයව මට හම්බුණා. විවිධ සංස්කෘතිවලට අයිති අයව යාළුවන් කරගත්තාම එක සංස්කෘතියක ඉන්න හැමෝම එක වගේ නැහැ කියලා අපි තේරුම්ගන්නවා. එතකොට එයාලට ආදරය කරන්නත් අගේ කරන්නත් අපි පෙලඹෙනවා.”

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වෙනත් රටක, ජාතියක නැත්නම් වෙනත් භාෂාවක් කතා කරන අය එක්ක කතාබහ කරන්න අවස්ථාවන් උදා කරගන්න. ඒකට මේ දේවල් කරන්න ඔයාට පුළුවන්.

  • එයාලා ගැන විස්තර ටිකක් අහලා බලන්න.

  • කෑම වේලකට එයාලට ආරාධනා කරන්න.

  • එයාලගේ ජීවිත අද්දැකීම්වලට හොඳින් ඇහුම්කන් දීලා එයාලා වැදගත් දේවල් විදිහට සලකන්නේ මොනවාද කියලා තේරුම්ගන්න.

එයාලට මුහුණ දෙන්න වුණ දේවල් ඔයා දැනගන්න උත්සාහ කළොත් එයාලා දැන් කරන සමහර දේවල්වලට හේතුව තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඒක උදව් වෙනවා එයාලා ගැන මෙච්චර කල් හිතුව විදිහ වෙනස් කරගෙන හොඳ විදිහට එයාලා ගැන හිතන්න.