Skip to content

පටුනට යන්න

මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු

මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු

බයිබලයේ කියනවා . . . “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”​—හිතෝපදේශ 17:17.

ඒක කරන්නේ කොහොමද?

ඔයා අඳුරන කෙනෙක් මානසික රෝගයකින් පෙළෙනවා නම් ඔයාටත් ලොකු අසරණකමක් දැනෙයි. ඒත් එයාට සහනයක් සරණක් වෙන්න ඔයාටත් පුළුවන්.

ඒක උදව් වෙන්නේ කොහොමද?

“ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි.”​—යාකොබ් 1:19.

එයාගේ හිතට වධ දෙන දේවල් ගැන කතා කරද්දී හොඳින් ඇහුම්කන් දෙන්න. එයා කියන හැම දේකටම ප්‍රතිචාර දක්වන්න ඕනෙ නැහැ. ඒත් එයාගේ දුක තේරුම්ගන්න උත්සාහ කරන්න. එයා කියන දේවල් නිසා කලබල වෙන්නවත් එයා ගැන වැරදි පින්තූරයක් හිතේ ඇඳගන්නවත් එපා. ඔයාගේ හිත රිදෙන විදිහේ දේවල් පවා එයාගේ කටින් පිට වෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න.—යෝබ් 6:2, 3.

“කලකිරී සිටින අයව සනසවන්න.”​—1 තෙසලෝනික 5:14.

ඔයාගේ යාළුවාට ලොකු කලකිරීමක් දැනෙනවා ඇති. තමන් වටින්නේ නැහැ කියලත් දැනෙනවා ඇති. ඒ නිසා ඔයාට එයාව කොච්චර වටිනවාද කියලා කියන්න. ආදරෙන් කියන එක වචනයකට පුළුවන් හිත වට්ටන සිතුවිලි දාහක් වුණත් බිඳලා දාන්න.

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.”​—හිතෝපදේශ 17:17.

එයා ළඟින් ඉඳලා උදව් කරන්න. එයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා අනුමාන කරන්නේ නැතුව එයාගෙන් අහන්න. එයාට කියාගන්න තේරෙන්නේ නැත්නම්, දෙන්නා එක්ක එකතු වෙලා ටිකක් ඇවිදින්න යන එක, ෂොපින් යන එක, ගේදොර අස්පස් කරන එක නැත්නම් ඒ වගේ වෙන දෙයක් කරමුද කියලා අහන්න.​—ගලාති 6:2.

“බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”​—1 තෙසලෝනික 5:14.

එයා එවෙලේ කතා කරන්න කැමති නැත්නම් මොකද කරන්නේ? එයාට කතා කරන්න ඕනෙ වුණොත් ඔයා ඉන්නවා කියලා එයාට කියන්න. අසනීපේ නිසා එයා ඔයාගේ හිත රිදෙන දේවල් කරයි. දාගත්තු ප්ලෑන් අන්තිම මොහොතේ කැන්සල් කරයි. ඔයාට රුස්සන්නේ නැති දේවල් කරයි. ඒත් ඉවසීමෙන් එයාව තේරුම් අරන් අවශ්‍ය උදව් දෙන්න.—හිතෝපදේශ 18:24.

පුංචි උදව්වක් ලොකු වෙනසකට හේතු වෙයි

“එයාට ඕනෙ වෙලාවක මං ඉන්නවා. එයාගේ අසනීපේ හොඳ කරන්න මට බෑ. ඒත් එයා මනස සැහැල්ලු කරගන්න දේවල් කියද්දී ඒ බර අරගන්න මං එතන ඉන්නවා. ඒකෙන් එයාට ලැබෙන සහනය මට ඇස් දෙකෙන්ම පේනවා.”—ආහාර අක්‍රමිකතාවයක් සහ දරුණුවටම විෂාදය තියෙන කෙනෙක්ගේ යාළුවෙක් වන ෆාරා. a

“මාව හොඳට තේරුම්ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා. එයා නිතරම මට එයාගේ ගෙදරට එන්න කියනවා. අපි එකට එකතු වෙලා කෑම කද්දී කතා කරද්දී මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.”—විෂාදයෙන් පෙළෙන හායුන්.

“මගේ වයිෆ්ගේ අසනීපේ නිසා මගේ හිත රිදෙන විදිහේ දේවල් එයාගේ අතින් වෙනවා. ඒත් මං දන්නවා එයාගේ අසනීපේ තමයි එයාව මේ පාලනය කරන්නේ කියලා. ඒක මට උදව් වෙලා තියෙනවා ඉවසීමෙන්, තරහා ගන්නේ නැතුව දිගටම එයාට ආදරය දෙන්න.”—විෂාදයෙන් පෙළෙන බිරිඳක් ඉන්න ජේකබ්.

“මගේ වයිෆ් නැත්තං මෙලහකට මාත් නැහැ. එයා මට ලොකු හයියක්. මගේ අසනීපේ නිසා මං අමාරුවෙන් නම් ඉන්නේ, එයා කිසිම දෙයක් කරන්න කියලා මට බල කරන්නේ නෑ. සමහරවිට එයා ආසම දෙයක් වුණත් මං නිසා කැප කරගන්නවා. එයාගේ ආදරයයි සැලකිල්ලයි තමයි මාව ජීවත් කරවන්නේ.”—මානසික අවපීඩනයෙන් පෙළෙන එන්රිකෝ.

a සමහර නම් වෙනස් කර ඇත.