Skip to content

පටුනට යන්න

බයිබලය ඡේද හා පරිච්ඡේදවලට වෙන් කළේ කවුද?

බයිබලය ඡේද හා පරිච්ඡේදවලට වෙන් කළේ කවුද?

ඔයා 1වෙනි සියවසේ ජීවත් වෙන ක්‍රිස්තියානියෙක් කියලා හිතන්න. ඔයාගේ සභාවට පාවුල්ගෙන් ලියුමක් ලැබිලා. ඒකේ පාවුල් ශුද්ධ ලියවිලිවලින් උපුටලා දක්වපු දේවල් තියෙනවා. ඒක කියවද්දී අහගෙන ඉන්න ඔයාට නිතරම ‘ශුද්ධ ලියවිලිවලින්’ කියන වචන ඇහෙනවා. ඒ කියන්නේ හෙබ්‍රෙව් ලියවිලියි. (2 තිමෝති 3:15) ‘පාවුල් උපුටලා දක්වන ශුද්ධ ලියවිලි පද තියෙන තැන බලන්න පුළුවන් නම්’ කියලා ඔයාට හිතෙයි. ඒත් ඒක ලේසි නැහැ. එහෙම කියන්නේ ඇයි?

පරිච්ඡේදවලට හා ඡේදවලට වෙන් කරලා නැහැ

පාවුල්ගේ කාලේ තිබුණු ‘ශුද්ධ ලියවිලිවල’ අත්පිටපත් මොන වගේද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? පහළ පින්තූරේ තියෙන්නේ ඒ වගේ අත්පිටපතක්. ඒක මළ මුහුද අසලින් හොයාගත්ත යෙසායාගේ ලියවිල්ලෙන් කොටසක්. ඒක ලියලා තියෙන්නේ කිසිම විරාම ලකුණක් නැතුව එක දිගට. අද අපේ බයිබල්වල තියෙනවා වගේ අංක දාලා පරිච්ඡේද, ඡේද වෙන් කරලා නැහැ.

බයිබල් ලේඛකයන් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩය එක දිගටම ලිව්වා. ඔවුන් ඒවා පරිච්ඡේද, ඡේදවලට වෙන් කෙරුවේ නැහැ. ඔවුන්ට ඕන වුණේ කියවන අයටත් සම්පූර්ණ පණිවිඩය ලැබෙනවා දකින්නයි. හිතන්න ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ගෙන් වැදගත් ලියුමක් ලැබුණා කියලා. ඔයා ඒක තැනින් තැන කියවන්නේ නැතුව එක දිගටම කියවලා බලනවා නේද?

ඒත් පරිච්ඡේද හා ඡේද වෙන් කරලා තිබුණේ නැති එක ප්‍රශ්නයක් වුණා. උදාහරණෙකට තමන් උපුටලා දක්වපු තොරතුරු පාවුල්ටම හොයාගන්න පුළුවන් වුණේ ‘ලියා තිබේ,’ ‘යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා’ වගේ වචන ඔහු ලියපු නිසයි. (රෝම 3:10; 9:29) ඒත් ඒ වචන ලියවිලිවල තියෙන තැන හරියටම හොයාගන්න කෙනෙක්ට පුළුවන් වුණේ ඒවා නිතරම කියවලා ඒකට හුරු වෙලා තිබුණා නම් විතරයි.

අනිත් ප්‍රශ්නේ තමයි 1වෙනි සියවසේ අවසානය වෙද්දී ‘ශුද්ධ ලියවිලිවල’ පොත් 66ක එකතුවක් තිබුණ එක. ඒ නිසා තොරතුරු හොයන එක ලේසි වුණේ නැහැ. ඒත් දැන් බයිබලය අංකවලින් පරිච්ඡේද හා ඡේදවලට වෙන් කරලා තියෙන නිසා පහසුවෙන්ම තොරතුරු හොයාගන්න පුළුවන්. පාවුල් උපුටලා දක්වපු දේවල් අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.

දැන් ඔයාට හිතෙයි ‘බයිබලය පරිච්ඡේද හා ඡේදවලට වෙන් කෙරුවේ කවුද’ කියලා.

පරිච්ඡේදවලට වෙන් කෙරුවේ කවුද?

බයිබලයේ අත්පිටපත් පරිච්ඡේදවලට වෙන් කෙරුවේ ඉංග්‍රීසි ජාතික පූජකයෙක් වන ස්ටීවන් ලැංටන්. ඔහු පස්සේ කාලෙක කැන්ටබරියේ අග්‍ර බිෂොප්වරයෙක් වුණා. බයිබලය පරිච්ඡේදවලට ඔහු වෙන් කෙරුවේ ක්‍රිස්තු වර්ෂ 13වෙනි සියවසේ, ප්‍රංශයේ පැරිස් නුවර විශ්වවිද්‍යාලයේ උගන්වපු කාලයෙදියි.

ලැංටන්, බයිබලය පරිච්ඡේදවලට වෙන් කරන්න කලින් වෙනත් විද්වතුන් එක එක ක්‍රමවලට පරිච්ඡේද වෙන් කරලා තිබුණා. ඔවුන් එහෙම කෙරුවේ බයිබලයේ තොරතුරුවලට යොමු දක්වන්න වෙන්න ඇති. ඔවුන්ට යම් කොටසක් හොයාගන්න ඕන වෙද්දී මුළු පොතම පෙරළන්නේ නැතුව ඒක තියෙන පරිච්ඡේදයට ඉක්මණින්ම පෙරළන්න පුළුවන් වුණා නම් මොන තරම් පහසුවක් වෙන්න ඇද්ද! උදාහරණෙකට යෙසායා පොතේ පරිච්ඡේද 66ක්ම තියෙනවා.

විද්වතුන් වෙන වෙන ක්‍රමවලට බයිබලය පරිච්ඡේදවලට වෙන් කරලා තිබුණු එකෙන් ගැටලුවක් මතු වුණා. උදාහරණෙකට මාක්ගේ සුවිශේෂය පරිච්ඡේද 50කට විතර වෙන් කරලා තිබුණා. අද නම් ඒකේ තියෙන්නේ පරිච්ඡේද 16යි. ලැංටන් පැරිසියේ උගන්වපු කාලේ විවිධ රටවලින් එහෙට ආපු ශිෂ්‍යයන් තමන්ගේ රටේ පාවිච්චි කරපු බයිබල් ගෙනාවා. ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ බයිබල් අත්පිටපත්වල පරිච්ඡේද වෙන් කරලා තිබුණේ වෙනස් ක්‍රමවලට නිසා ගැටීමක් ඇති වුණා.

ඒ නිසා ලැංටන් අලුත් විදිහකට පරිච්ඡේද වෙන් කෙරුවා. ඔහුගේ ක්‍රමය “කියවන අයගේ හා පිටපත්කරුවන්ගේ සිත්ගත් නිසා මුළු යුරෝපයේම ඒ ක්‍රමය පැතිරුණා” කියලා පොතක කියනවා. (The Book—A History of the Bible) අද අපි පාවිච්චි කරන හුඟක් බයිබල්වල තියෙන්නේ ඔහු පරිච්ඡේද වෙන් කරපු ක්‍රමයයි.

ඡේද වෙන් කෙරුවේ කවුද?

ලැංටන්ගේ කාලයෙන් අවුරුදු 300කට විතර පස්සේ ඒ කියන්නේ 16වෙනි සියවසේ මැද භාගයේදී ප්‍රංශ ජාතික විද්වතෙක් වන රොබට් එස්ටියෙන්ට ඕන වුණා හැමෝම බයිබලය ඉගෙනගන්නවා දකින්න. ඒ නිසා ඔහු තේරුම්ගත්තා හැම බයිබලයකම පරිච්ඡේද වගේම ඡේදත් අංක දාලා වෙන් කරලා තියෙනවා නම් පහසු වෙයි කියලා.

ඒත් ඒ අදහස ඇති වුණු මුල්ම කෙනා එස්ටියෙන් නෙමෙයි. උදාහරණෙකට සියවස් ගණනාවකට කලින් යුදෙව් පිටපත්කරුවන් මුළු හෙබ්‍රෙව් ලියවිල්ලම (පැරණි ගිවිසුම) පරිච්ඡේදවලට වෙන් කරලා තිබුණේ නැතත් ඡේදවලට වෙන් කරලා තිබුණා. ඒත් ඡේද වෙන් කරද්දි හැමෝම එකම ක්‍රමයකට ඒක කරලා තිබුණේ නැහැ.

එස්ටියෙන්, ක්‍රිස්තියානී ග්‍රීක ලියවිල්ල (අලුත් ගිවිසුම) අංක දාලා ඡේදවලට වෙන් කෙරුවා. ඊටපස්සේ ඔහු හෙබ්‍රෙව් ලියවිල්ලත් ග්‍රීක ලියවිල්ලත් එකතු කරලා 1553දී සම්පූර්ණ බයිබලය (ප්‍රංශ භාෂාවෙන්) පළ කෙරුවා. අද තියෙන හුඟක් බයිබල්වල පරිච්ඡේද හා ඡේද වෙන් කරලා තියෙන්නේ එස්ටියෙන්ගේ ක්‍රමයටයි. ඒක විවේචනය කරපු සමහරු කිව්වේ බයිබලයේ තියෙන පණිවිඩය ඡේදවලට වෙන් කරලා කොටස්වලට කැඩුවාම ඒ අතර තියෙන සම්බන්ධය නැති වෙනවා කියලයි. ඒත් මුද්‍රණ ශිල්පීන් අනුගමනය කෙරුවේ ඒ ක්‍රමය.

ලොකු ආශීර්වාදයක්

අංක දාලා පරිච්ඡේද හා ඡේද වෙන් කරපු එක සුළු දෙයක්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒක බයිබලේ හැම ඡේදයකටම “ලිපිනයක්” දුන්නා හා සමානයි. ඒ නිසා බයිබල් පද පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. බයිබලය පරිච්ඡේද හා ඡේදවලට වෙන් කෙරුවේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් නෙවෙයි. අනිත් එක ගැළපෙන්නේ නැති තැන්වලින් වෙන් කරලා තියෙන්නත් පුළුවන්. කොහොමවුණත් තමන්ට අවශ්‍ය ඡේද ලකුණු කරන්නත් ඒවාවල අදහස අනිත් අයත් බෙදාගන්නත් ඒක පහසුවක්. ඒක පොතක හරි ලිපියක හරි මතක තියාගන්න ඕන දේවල් ලකුණු කරනවා වගෙයි.

පරිච්ඡේද හා ඡේද වෙන් කරලා තියෙන නිසා බයිබලය කියවන එක පහසු වුණත් වඩා වැදගත් වෙන්නේ බයිබලයේ තියෙන මුළු පණිවිඩයම තේරුම්ගන්න එකයි. බයිබල් ඡේද වෙන වෙනම කියවනවා වෙනුවට අවට පදත් කියවන පුරුද්ද ඇති කරගන්න. එහෙම කරනවා නම් ‘ශුද්ධ ලියවිල්ලට’ හුරු වෙනවා වගේම ඒ ‘අවබෝධය ඔබේ ගැලවීමට මඟ පාදනවා.’—2 තිමෝති 3:15.