Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

මරණය ගැන මට තිබුණේ පුදුම බයක්

මරණය ගැන මට තිබුණේ පුදුම බයක්
  • ඉපදුණ අවුරුද්ද: 1964

  • රට: එංගලන්තය

  • අතීතයේදී: අඩු වයසින් අම්මා කෙනෙක් වුණු මුරණ්ඩු කෙනෙක්

මගේ අතීතය

මං ඉපදුණේ ලන්ඩන්වල. මං ජීවත් වුණේ මගේ අක්කලා තුන්දෙනායි අම්මායි එක්ක. මගේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වුණු කෙනෙක්. එයා කොයි වෙලෙත් රණ්ඩු වෙලා ගෙදරින් යනවා. ඒ නිසා මට තාත්තාත් එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණේ නැහැ.

මං ගාව බයිබලයේ ගීතාවලිය පොත තිබුණා. මට මතකයි මං ඒ ගීතිකාවලට ලස්සන තාල හදලා ගායනා කරපු හැටි. පුංචි කාලේ හැමදාම රෑට යාච්ඤා කරන්නත් මං පුරුදු වෙලා හිටියා. එක දවසක් මං කියවපු පොතක තිබුණා “ගෙවෙන හැම තත්පරයක් ගානෙම අපි මරණයට ළං වෙනවා” කියලා. ඒක කියවලා මරණය ගැන මට අමුතු බයක් ඇති වුණා. ‘ඇත්තටම ඇයි මිනිස්සු මැරෙන්නේ? මමත් ඉපදුණේ නිකම්ම ජීවත් වෙලා මැරිලා යන්නද’ කියලා මම කල්පනා කෙරුවා.

මං අද්භූත දේවල් ගැන හොයන්න පටන්ගත්තා. මැරුණු අයත් එක්ක කතා කරන්න උත්සාහ කළා. යාළුවොත් එක්ක මිනී පිට්ටනිවලට පවා ගියා. හොල්මන් චිත්‍රපටි බැලුවා.

අවුරුදු 10ක් වෙද්දී මං දුම් බොන්න පටන්ගත්තා. මරිජුවානාවලටත් ඇබ්බැහි වුණා. අවුරුදු 11දී මත්පැන් බොන්නත් පටන්ගත්තා. බිව්වාම එන වෙරි ගතියට මං ඉස්සර හරි ආසයි. සිංදු අහන්න, නටන්න තිබුණු ආසාව නිසා මං පාටිවලට, නයිට්ක්ලබ්වලට ගියා. රෑ වෙද්දී හෙමීට ගෙදරින් පැනලා එළිය වැටෙන්න කලින් ගෙට රිංග ගන්නවා. මුළු රෑම ඇහැරගෙන ඉඳලා මහන්සි නිසා මම ඉස්කොලේ කට් කරලා එහෙ මෙහෙ යන්න පුරුදු වුණා. ඉස්කෝලේ ගියත් ඉඩක් ලැබුණ ගමන් මං මත්පැන් බිව්වා.

ඉස්කෝලේ අන්තිම විභාගේ මං ෆේල් වුණ නිසා අම්මා හිටියේ හුඟක් කේන්තියෙන්. දවසක් අම්මා එක්ක ලොකු රණ්ඩුවක් වෙලා මං ගෙදරින් එළියට බැස්සා. ඒ කාලේ මං හිටියේ මගේ පෙම්වතා ටෝනි එක්ක. ඒ වෙද්දී එයා පොඩි පොඩි අපරාධවලට හවුල් වෙන, කුඩු විකුණන, රණ්ඩුවලට පැටලෙන කෙනෙක්. වැඩි කාලයක් යන්න කලින් මං අම්මා කෙනෙක් වුණා. එතකොට මට වයස අවුරුදු 16යි.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

මුලින්ම මට සාක්ෂිකරුවන්ව හම්බ වෙනකොට මං හිටියේ අවිවාහක මව්වරුන්ට තිබුණු රජයේ නේවාසිකාගාරයක. සාක්ෂිකාරියන් දෙන්නෙක් කාලයක් තිස්සේ එහේ හිටපු අම්මලා කිහිපදෙනෙක්ව හම්බ වෙන්න ආවා. දවසක් මටත් හිතුණා එයාලාගේ සාකච්ඡාවට හවුල් වෙන්න. මම හැදුවේ කොහොමහරි සාක්ෂිකරුවන් විශ්වාස කරපු දේවල් වැරදියි කියලා ඔප්පු කරන්නයි. ඒත් මං අහපු ප්‍රශ්නවලට එයාලා හරිම ඉවසීමෙන් බයිබලෙන්ම පැහැදිලි උත්තර දුන්නා. ඒ නිසා මටත් හිතුණා එයාලාත් එක්ක බයිබල් පාඩමක් කරන්න.

පොඩි කාලේ මරණය ගැන මට තිබුණ බය තරුණ වයසෙදිත් නැති වුණේ නැහැ. ඒත් බයිබලය පාඩම් කරනකොට මම දැනගත්තා යේසුස් නැවත නැඟිටීමක් ගැන කතා කරලා තියෙනවා කියලා. (යොහන් 5:28, 29) ඒ වගේම දෙවියන් මට හුඟක් ආදරෙයි කියලත් මං ඉගෙනගත්තා. (1 පේතෘස් 5:7) යෙරෙමියා 29:11 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.” පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඒ වචන මට උදව් වුණා.—ගීතාවලිය 37:29.

මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගිය මුල්ම දවසේ එයාලා හරිම ආදරෙන් මාව පිළිගත්තේ කාලයක් තිස්සේ දන්න හඳුනන යාළුවෙක්ව පිළිගන්න විදිහට. (යොහන් 13:34, 35) මම කලින් ගිය පල්ලියේ අයට වඩා සාක්ෂිකරුවන් හුඟක් වෙනස්. මගේ පසුබිම එච්චර හොඳ නැති වුණත් එයාලා මට කිසිම වෙනස්කමක් කරේ නැහැ. මං ගැන හොයලා බැලුවා. පුළුවන් විදිහට මට උදව් කළා. මට ඇත්තටම ආදරය කරන ලොකු පවුලක් මට හම්බ වුණා.

බයිබලය පාඩම් කරනකොට මං ඉගෙනගත්තා දෙවියන් කැමති විදිහේ කෙනෙක් වෙන්න නම් මං මගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා. බොහොම අමාරුවෙන් සිගරට් බොන එක නැවැත්තුවා. මරිජුවානා බොන්න පෙලඹීමක් ඇති කරන සිංදු අහන එකත් නැවැත්තුවා. පාටිවලට, නයිට්ක්ලබ්වලට ගියාම බොන්න හිතෙන නිසා මං ඒවාවලට යන එකත් අතහැරියා. මං ආශ්‍රය කරපු අය ගැනත් දෙපාරක් හිතුවා.—හිතෝපදේශ 13:20.

ඒ කාලෙදිම වගේ ටෝනිත් සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන්න පටන්ගත්තා. එයාත් එයාගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කෙරුවා. නරක යාළුවෝ ආශ්‍රය කරන එක අතහැරලා දැම්මා. නීති විරෝධී වැඩ කරලා සල්ලි හොයන එක නැවැත්තුවා. මරිජුවානා බොන එකත් නතර කළා. දෙමාපියන් හැටියට අපි අපේ වගකීම හරියට ඉටු කරන එක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතිං අපි අපේ පුතා ගැනත් හිතලා අපේ වැරදි ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. 1982දී අපි දෙන්නා නීත්‍යනුකූලව විවාහ වුණා.

“මට දැන් අනාගතය ගැනවත් මරණය ගැනවත් කිසිම බයක් නැහැ”

කලින් නරක ජීවිතයක් ගත කළත් පස්සේ වෙනස්කම් කරගත්ත අයගේ අද්දැකීම් ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ * සඟරාවල තියෙනවා. ඒවා මං කියෙව්වේ හුඟක් ආසාවෙන්. නරක පුරුදු අත්හැරලා දාලා මගේ ජීවිතේ හදාගන්න, ඒ අද්දැකීම්වලින් මට ලැබුණේ ලොකු හයියක්. ඒ වගේම වෙනස්කම් කරන්න ශක්තිය ඉල්ලලා මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කෙරුවා. 1982 ජූලි මාසයේදී ටෝනියි, මායි බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද

මගේ ජීවිතේ වෙනස් කරගෙන යෙහෝවා දෙවියන්ට කිට්ටු වුණේ නැත්නම් මං අද කොහේ ඉඳියිද දන්නේ නැහැ. අපි දෙවියන්ට කිට්ටු වෙනකොට ඔහු අපිව අත්හරින්නේ නැහැ. අමාරු අවස්ථාවලදී දෙවියන් අපේ පවුල බලාගත්ත හැටි මායි ටෝනියි අනන්තවත් අද්දැකලා තියෙනවා.—ගීතාවලිය 55:22.

මං මගේ දරුවන්ට ගොඩක් ආදරෙයි. යෙහෝවා දෙවියන්ව එයාලාගේ කිට්ටු යාළුවෙක් කරගන්න මං මගේ පුතාටයි දුවටයි උදව් කළා. දැන් එයාලාත් එයාලාගේ දරුවන්ව ඒ විදිහට හදද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්.

මායි ටෝනියි හැම සතියකම එක එක ප්‍රදේශවලට ගිහින් එහේ ඉන්න සාක්ෂිකරුවන්ව හම්බ වෙලා එයාලාව දිරිගන්වනවා. එයාලාත් එක්ක එකතු වෙලා පුළුවන් තරම් දෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙනවා. ඒක අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න එයාලටත් උදව් වෙනවා. බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා මට දැන් අනාගතය ගැනවත් මරණය ගැනවත් කිසිම බයක් නැහැ. දැන් මගේ ජීවිතේ ගෙවෙන්නේ හරිම සතුටින්.

^ 19 ඡේ. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.