Skip to content

පටුනට යන්න

පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?

පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?

අනවශ්‍ය විදිහට වියදම් කරන්න වෙළඳ දැන්වීම් යම් බලපෑමක් කෙරුවත් අපේ හිතත් අපේ පුරුදුත් යම් දුරකට බලපානවා. පාලනයක් ඇතුව මිල දී ගන්න උදව් වෙන යෝජනා හයක් මෙන්න.

  1. දැක්ක ගමන් ගන්න එපා. සාප්පු යනවා කිව්වොත් සේල් එකක් කිව්වොත් මෙලෝ සිහියක් නෑ. ඒ ගැනමයි හිත! ඔබත් ඒ වගේද? එහෙමනම් ඔබ අනවශ්‍ය විදිහට බඩු මිල දී ගන්න පෙලඹීමක් තියෙන කෙනෙක්. ඒ නිසා මිල දී ගන්න කලින් මෙහෙම හිතන්න. ‘ගත්තා වගේ නෙමෙයි නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට කොච්චර වියදමක් යයිද? හදිස්සි වෙලා කලින් ගත්තු දෙයක් ගැන දැන් මං තාමත් ළත වෙනවද?’ එහෙමනම් මිල දී ගන්න කලින් හදිස්සි නොවී නිවාඩු පාඩුවේ ටිකක් හිතන්න.

  2. මානසික පීඩනයෙන් මිදෙන්න කියලා සාප්පු යන්න එපා. සාප්පු ගියාම මූඩ් එක ටිකක් ෆික්ස් වෙනවා තමයි. හැබැයි ආයෙත් මානසිකව වැටුණම සහනයක් ලබාගන්න කියලා සාප්පු ගිහින් කලින් වතාවට වඩා වියදම් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා පීඩනයෙන් මිදෙන්න සාප්පු යනවාට වඩා හොඳයි යාළුවෙක් එක්ක කතා කිරීම, ඇවිදීම වගේ දෙයක් කරන එක.

  3. විනෝදෙට සාප්පු යන්න එපා. විනෝද වෙන්න පුළුවන් විදිහටයි සාප්පු සංකීර්ණ හදලා තියෙන්නේ. ඒ තැන්වලට ගියාම විනෝදෙටත් එක්ක බඩු ගන්න හිතෙනවා. සමහර වෙබ් අඩවි වලට ගියාමත් වෙන්නෙ ඒකයි. ඒ නිසා යමක් ගන්න අවශ්‍යතාවක් නැත්නම් ඒ වගේ සාප්පුවලට, වෙබ් අඩවිවලට යන්න එපා. යන්න සිද්ධ වුණොත් ගන්න හිතපු බඩුව විතරක් අරං එන්න.

  4. යාළුවන් ගැනත් පරිස්සමින්. යාළුවන්ගෙ ජීවන රටාව, කතා කරන දේවල් ඔබට ලොකු බලපෑමක් කරනවා. යාළුවන්ට ගැළපෙන විදිහට ඉන්න ඔබත් හරි හරියට වියදම් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මිල මුදල්වලට බඩු මුට්ටුවලට වැඩි අවධානයක් දෙන්නැති යාළුවන්ව තෝරගන්න.

  5. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරද්දී කල්පනාවෙන්. හුඟදෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හිතේ හැටියට බඩු ගත්තට මොකෝ ඉහමොළ රත් වෙන්නෙ පස්සෙ! හැම මාසෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවිය යුතු ණය ගෙවලා දාන්න. ගෙවන්න ඕන පොලිය සහ ගාස්තු ගැන හොයලා බලන්න. ඔබට අවශ්‍ය නැති පහසුකම් ලැබෙන වැඩි ගෙවීමක් කරන්න සිදු වෙන කාඩ්පත් තියෙනවා. ඒ නිසා ඔබ පාවිච්චි කරන කාඩ්පත සාධාරණ පොලියක් අය කරන, ඔබට වැඩි වාසි තිබෙන එකක්ද කියලත් බලන්න. කාඩ්පතෙන් මිල අධික දේවල් ගන්නවා වෙනුවට මුදල් ඉතුරු කරලා අත් පිට මුදලට ගන්න.

  6. ආදායම සහ වියදම ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ ආදායම් හා වියදම් ගැන හරි අවබෝධයක් නැත්නම් නොදැනුවත්වම අනවශ්‍ය විදිහට වියදම් කරන්න ඔබ පෙලඹෙයි. ඒ නිසා එදිනෙදා කරන ගනුදෙනු ගැන සැලකිලිමත් වෙන්න. ගැළපෙන විදිහේ ගනුදෙනු වාර්තාවක් පිළියෙල කරන්න. යම් මූල්‍යමය කටයුත්තක් ගැන දන්නෙ නැත්නම් විශ්වාසවන්ත යාළුවෙක්ගෙ උදව් ලබාගන්න.