Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

මළවුන්ගෙන් තොරතුරු විමසීම

මළවුන්ගෙන් තොරතුරු විමසීම

මළවුන්ගෙන් තොරතුරු විමසන එක වැරදිද?

‘මායාකාරයන්ගෙන් උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්‍ර වනු ඇත.’ලෙවී කතාව 19:31.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මිය ගිය අය කරදරයක් නැතුව ඉන්නවද කියලා දැනගන්න ගොඩක් අය ආසයි. ඒ නිසා තමන් ආදරය කරන කෙනෙක් මිය ගියාම මළවුන් ගෙන්වන කෙනෙක් ගෙන් තොරතුරු අහලා බලලා සහනයක් ලබන්න ඔවුන් කැමතියි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

මළවුන්ගෙන් තොරතුරු විමසීම ඈත අතීතයේ ඉඳන්ම මිනිස්සු කරපු දෙයක්. නමුත් බයිබලයේ ඒ ගැන පැහැදිලි උපදෙසක් දීලා තියෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් ජාතියට නීතිය ලබා දෙද්දී මෙහෙම කිව්වා. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් කට්ටඩියෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් නොපෙලඹිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.’ (ද්විතීය කතාව 18:10-12) ඒ විතරක් නෙමෙයි ඒ වගේ දේවල් කරන අයට ‘දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවත්’ බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.—ගලාති 5:19-21.

ජීවත් වෙන අයට උපකාර කරන්න හෝ හානි කරන්න මිය ගිය අයට පුළුවන්ද?

“ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”දේශනාකාරයා 9:5.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මැරුණු අය කොහේ හරි ජීවත් වෙනවා. ඒ නිසා මළවුන් ගැන තොරතුරු දැනගන්න හෝ ඔවුන් හානි කරයි කියන බය නිසා ඔවුන්ව සතුටු කරන්න මොනවාද කරන්න ඕන කියලා දැනගන්න මිනිස්සු මළවුන් ගෙන්වන අය ළඟට යනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත.” (දේශනාකාරයා 9:5, 6) බයිබලයේ කියන්නේ මැරුණු අයට හිතන්නවත් වැඩ කරන්නවත් දෙවියන්ට නමස්කාර කරන්නවත් බැහැ කියලයි. ගීතාවලිය 115:17 සඳහන් වෙන්නෙත් ‘මිය ගිය අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ නැහැ’ කියලයි.

මළවුන් ගෙන් විචාරන අය නිවැරදි තොරතුරු දෙන්නේ කොහොමද?

“ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?”යෙසායා 8:19.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මිය ගිය කෙනා සහ ඔහුට සමීප අය විතරක් දැනගෙන හිටිය තොරතුරු මළවුන්ගෙන් විචාරන අය දන්නවා කියලා සමහරු කියනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

සාවුල් රජ දෙවිගේ අණ නොතකා මායාකාරියක් ළඟට ගිය සිද්ධියක් ගැන 1 සාමුවෙල් 28වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහුට ඕන වුණේ මායාකාරිය ලවා මිය ගිය සාමුවෙල්ව ගෙන්වා ඔහුගෙන් තොරතුරු ලබාගැනීමටයි. ඇත්තටම ඒ මායාකාරිය කතා කළේ සාමුවෙල් එක්ක නෙමෙයි. ඇය කතා කළේ මිය ගිය සාමුවෙල් වගේ පෙනී සිටිය වෙනත් පුද්ගලයෙක් එක්කයි.

ඒ පුද්ගලයා “බොරුවේ පියා” වන සාතන්ට උදව් කරන භූතයෙක්. (යොහන් 8:44) භූතයන් මිය ගිය අය ජීවත් වෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය දෙවියන්ට අගෞරව කරන්නයි. ඒ වගේම දෙවියන්ගේ වචනය වන බයිබලයේ කියා තියෙන දේවල් බොරුයි කියලා පෙන්වන්නයි.—2 තිමෝති 3:16.

එයින් අදහස් වෙනවාද මිය ගිය අය ගැන අපිට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැහැ කියලා? බයිබලයේ කියන්නේ මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙනවා කියලයි. * (යොහන් 11:11-13; ක්‍රියා 24:15) ඒ වන තුරු මිය ගිය අය කිසිම තැනක දුක් විඳින්නේ නැහැ කියන එකත් අපිට ස්ථිරයි.

^ 16 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ “මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්” යන මාතෘකාවෙන් යුත් 7වෙනි පරිච්ඡේදයෙන් තොරතුරු දැනගන්න.