Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?

මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?

ප්‍රශ්නය

යාළුවෙක් එක්ක කතා කර කර ඉද්දී මෙසේජ් එකක් ආවොත් මොනවාද කරන්නේ?

  1. (1) යාළුවත් එක්ක කතා කරන ගමන්ම මෙසේජ් එකත් බලනවා.

  2. (2) යාළුවාට පොඩ්ඩක් ඉන්න කියලා මෙසේජ් එක කියවනවා.

  3. (3) මෙසේජ් එක ගණන් නොගෙන යාළුවත් එක්ක කතා කරනවා.

ඔයා කරන තේරීම වැදගත්ද? ඔව්.

ඔබ දැනගත යුතු දේ

යාළුවෙක් එක්ක කතා කර කර ඉද්දී තවත් යාළුවෙක්ට මෙසේජ් කරනවා කියන්නේ හරියට ක්‍රීඩාවක් කරද්දී නීති රීති ගණන් නොගෙන තමන්ට ඕන විදිහට සෙල්ලම් කරනවා වගේ වැඩක්. ඒත් ‘මෙයාලා මගේ යාළුවොනෙ, එයාලා වැරදියට හිතන එකක් නැහැ’ කියලා ඔයා කියයි. ඒක ඇත්ත. අපි හැම වෙලාවකම නීතියටම වැඩ කරන්න ඕනේ නැහැ තමයි. ඒත් හොඳ පුරුදු තිබුණේ නැත්නම් කවදා හරි දවසක යාළුවන්ටත් අපිව එපා වෙයි.

එහෙම වෙන්නේ තමන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති අයට කවුරුත් ආස නැති නිසයි. ඒ ගැන බෙත් * කියන යෞවනිය මෙහෙම කියනවා. “කතා කර කර ඉද්දී මගේ යාළුවා මෙසේජ් බලනවා නං මට හිතෙන්නේ එයාට මාව වැදගත් නැහැ කියලයි. මට ඒ වෙලාවට කේන්ති යනවා.” බෙත් ඒ යාළුවාව දිගටම ආශ්‍රය කරයි කියලා ඔයා හිතනවාද?

මෙසේජ් කරද්දී ඔයාට හොඳ පුරුදු තියෙනවාද කියලා දැනගන්න “ප්‍රශ්නය” යටතේ තිබුණු කාරණා 3 ආයෙත් බලන්න. ඔයා තෝරන්නේ මොන උත්තරයද? ඔයා කියයි 1 නම් වැරදියි කියලා. ඒත් 2 සහ 3 ගැන මොනවද හිතෙන්නේ? කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?

තීරණයක් ගන්න එක ලේසි නැහැ නේද? ඒත් බයිබලයේ මේ වගේ හොඳ උපදෙසක් තියෙනවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.” (ලූක් 6:31) මේ උපදෙස ඔයාටත් අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා බලමු.

 මොනවද කරන්න පුළුවන්?

මෙසේජ් යවන වෙලාව ගැන හිතන්න. “සමහර වෙලාවට මහ රෑට මට මෙසේජ් එනවා. ඒත් ඒවා එච්චර වැදගත් පණිවඩත් නෙමෙයි. මගේ නින්ද කැඩෙන එක විතරයි වෙන්නේ” කියලා රිචඩ් කියන යෞවනයා කියනවා. මෙහෙම හිතන්න. ‘ඔයත් අනිත් අයට මෙසේජ් යවන්නේ ඒ අය නිදියන වෙලාවටද?’දේශනාකාරයා 3:1 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කියන විදිහ ගැන හිතන්න. සාමාන්‍ය කතාබහකදී වචන, කියන විදිහ, මූණේ ඉරියව් සහ අංග චලනවලින් වැදගත් කාර්යයක් ඉටු වෙනවා. ඒත් ඒ හැම දෙයක්ම මෙසේජ් එකකින් පෙන්නන්න බැහැ. ඒ නිසා “‘ඔයාට කොහොමද?’ ‘ස්තුතියි’ වගේ කාරුණික වචන පාවිච්චි කරන්න” කියලා යෞවනියක් වන ජැස්මින් කියනවා.කොලොස්සි 4:6 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අවබෝධයෙන් වැඩ කරන්න. වැදගත් මෙසේජ් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් යාළුවාට පොඩ්ඩක් ඉන්න කියලා මෙසේජ් එක බලන එකේ වරදක් නැහැ. ඒත් සමහර මෙසේජ් ඒ වෙලාවෙම බලන්න ඕන ඒවා නෙමෙයි. 17 හැවිරිදි ඒමී ඒ ගැන මෙහෙම කියනවා. “යාළුවා එක්ක කතා කරලා ඉවර වෙන කල් ඔයාගේ ෆෝන් එක ඔයාගේ ළඟ තියෙනවා. ඒත් කතාව නවත්වලා මෙසේජ් බලන්න ගියොත් ඒක ඉවර වෙද්දී යාළුවා ඔයාගේ ළඟ ඉඳියිද කියලා කියන්න බැහැ.” කට්ටියක් එක්ක ඉද්දීත් අපි කල්පනාකාරී වෙන්න ඕනේ. 18 හැවිරිදි ජේන් මෙහෙම කියනවා. “යාළුවොත් එක්ක එකතු වුණු වෙලාවකදී මුළු වෙලාවෙම මෙසේජ් කර කර ඉන්න එපා. ඒක හරියට ‘මට ඔයාලාගෙන් වැඩක් නැහැ’ කියලා යාළුවන්ට කියනවා වගෙයි.”

මෙසේජ් එක යවන්න කලින් හිතන්න. ඔයා යවන මෙසේජ් එක ගැන අනිත් කෙනා වැරදියට හිතයිද? මෙසේජ් එකත් එක්ක දාන මූණුවලින් ඔයාගේ හැඟීම් ඒ විදිහටම තේරුම්ගනියිද? ඒ වගේ දේවල් ගැන කල්පනාකාරී වෙන්න. 21 හැවිරිදි ඇම්බර් මෙහෙම කියනවා. “විහිළු දෙයක් නම් යවන්නේ හිනාවෙන මූණකුත් එතන දාන්න. නැත්නම් ඔයාගේ පණිවිඩේ ගැන වැරදියට හිතලා එයාගේ හිත රිදෙයි. ඒක රණ්ඩුවකටත් මුල පුරන්න පුළුවන්.”හිතෝපදේශ 12:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඒ තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවා කියන එකයි.

ටිකක් හිතන්න. අපි අනිත් අයට ප්‍රේම කරනවා නම් අපි හොඳ පුරුදු ඇති කරගන්නවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5) ඒ අතරින් ඔයා දියුණු කරගන්න ඕන මොන ගුණාංගද?

^ 11 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.