Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

නව යොවුන් වියෙන් සමුගන්නා ඔබේ දරුවා

නව යොවුන් වියෙන් සමුගන්නා ඔබේ දරුවා

“ඉස්සර නම් පුතාලා එක්ක කතා කරන්න හරිම ලේසියි. කියන දේ අහනවා. අහන ඕන ප්‍රශ්නෙකට උත්තර දෙනවා. ඒත් දැන් ඒගොල්ලන්ගේ කරදඬු උස් වෙලා හින්දා හැම තිස්සෙම වාද කරන්න එනවා. අපේ ආගම ගැන කතා කරන්න ගත්තොත් ‘අනේ ඔය බයිබල් කතා නම් මට එපා’ කියලා කියනවා. කවුද හිතුවේ මගේ දරුවෝ මේ වගේ වෙයි කියලා.”—රෙජී. *

බටත් නව යොවුන් වියේ දරුවන් සිටිනවාද? ඒ කියන්නේ ඔවුන් වැඩිහිටියන් වෙන්න ළං වෙලා කියන එකයි. මෙය සුන්දර අවදියක් වුණත් අභියෝග රැසකටත් මුහුණ දෙන්න සිදු වන කාලයක්. ඔබත් අද්දකින්නේ පහත සඳහන් තත්වයන්ද?

  • ඔබේ පුතා පුංචි කාලයේදී ඔබේ ඇඟේ දැවටි දැවටි හිටියා. ඒත් දැන් යෞවනයෙක් නිසා එයා කරන්නේ එයාට ඕන ඕන දේවල්. එයා ඉන්නේ එයාගෙම ලෝකෙයි.

  • කලින් දුවගේ හොඳම යාළුවා ඔබයි. ඉස්සර එයා හැම දෙයක්ම කිව්වේ ඔබටයි. හැබැයි දැන් එයාට ඕනේ එයාගෙම වයසේ යාළුවෝ විතරයි. ඔබට හැඟෙන්නේ එයා දැන් ඔබව ගණනකටවත් ගන්නේ නැහැ කියලයි.

ඔබේ පුතා හෝ දුව මේ වගේද? කලබල වෙලා එයාව කැරලිකාරයෙක් ගානට දාන්න එපා. ඒත් පුංචි කාලේ හොඳට හිටිය දරුවා මේ වගේ වුණේ ඇයි? එය තේරුම්ගැනීමට නව යොවුන් විය හෙවත් නහඹර කාලය කියන්නේ මොකක්ද කියා අපි සලකා බලමු.

ජීවිතයේ විශේෂ සංධිස්ථානයක්

උපන් දා සිට දරුවෙක් හැමදාම අලුත් දෙයක් කරනවා. ඇවිදින්නත්, කතා කරන්නත් ඉගෙනගන්නවා. පාසැල් යන්න පටන්ගන්නවා. දරුවෙක් මේ ආකාරයට උස් මහත් වීම දෙමාපියන්ට ලොකු සතුටක්.

මෙලෙස හැදෙන වැඩෙන දරුවෙකුගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් වන්නේ නව යොවුන් වියයි. සමහරවිට අම්මයි තාත්තයි දකින්නේ හොඳට හිටිය දරුවා එකපාරටම අමුතු වෙලා වගෙයි. ඒත් දරුවාගේ ජීවිතයේ මේ කාලය ඉතා වැදගත් කාලයක්. එසේ පවසන්නේ ඇයි?

කවදා හරි දවසක දරුවෙක් වැඩිහිටියෙක් වී ‘තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වෙනවා’ කියා බයිබලයේ පවසනවා. (උත්පත්ති 2:24) දරුවෙකුගේ යෞවන කාලයේදී දෙමාපියන් වන ඔබට තිබෙන විශේෂ කාර්යය වන්නේ ඒ දවසට දරුවාව සූදානම් කිරීමයි. එම දරුවා වැඩිහිටියෙක් වූ දවසේදී පාවුල් මෙන් ඒ දරුවාටත් මෙසේ පැවසීමට හැකි වෙයි. “මම බිලිඳෙකුව සිටියදී, බිලිඳෙකු මෙන් කතා කළෙමි. බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු වී සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි.”—1 කොරින්ති 13:11.

මෙපමණ කලක් ඇඟේ දැවටි දැවටි හිටිය කුඩා දරුවා තමාගේ ළාමක ගති අත්හැර ක්‍රම ක්‍රමයෙන් සමාජයට වැඩදායක වැඩිහිටියෙක් බවට පත් වෙනවා. දරුවෙක් වැඩිහිටි වියට පා තැබීම දෙමාපියන්ටත් දරුවාටත් ලොකු සතුටක්. නමුත් දුකක් නැහැයි කියන්නත් බැහැ. දරුවෙක් වැඩිහිටියෙක් වී දෙමාපියන්ගෙන් ඈත් වීම දුකක් බව එක් පොතකත් පවසනවා.

තවමත් “පොඩි එකෙක්” විදිහට පෙනෙන ඔබේ දරුවා කවදා හරි දවසක ඔබ නැතුව හරියට දෙයක් කරගනියිද කියා ඔබට සැකයක් ඇති විය හැකියි.

  • “පුතාට කාමරේවත් හරියට තියාගන්න බැරි නම් එයා තනියම බෝඩිමකට ගියොත් කොහොමට තියෙයිද?”

  • “දුව කවදාවත් වෙලාවට වැඩක් කළේ නැහැ. එයා කොහොම රස්සාවක් කරයිද මන්දා.”

ඇත්තයි ඔබේ දරුවා දෙස බලද්දී “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී” තිබෙනවා යන කාරණය සත්‍යයක් බව ඔබට වැටහෙනවා ඇති. (හිතෝපදේශ 22:15) එහෙත් මෙය මතක තබාගන්න. ඔබේ නහඹර දරුවා වැඩිහිටියෙක් වන්නේ එක රැයකින් නොවෙයි. ඊට දිගු කලක් ගත වෙනවා.

ඔබට දැන් තිබෙන විශාලම කාර්යය වන්නේ ඔබේ නහඹර දරුවාගේ ‘වටහාගැනීමේ හැකියාව’ දියුණු කරගැනීමට උපකාර කිරීමයි. එවිට ඔබේ දරුවා ‘හරි වැරැද්ද හඳුනාගෙන’ වගකීමෙන් වැඩ කළ හැකි වැඩිහිටියෙක් බවට පත් වෙයි.—හෙබ්‍රෙව් 5:14.

සාර්ථක වෙන්න නම් . . .

ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේ වන්නේ ඔහුගේ * “කල්පනා ශක්තිය” දියුණු කරගැනීමට උදව් කිරීමයි. එවිට තනිවම වුණත් නැණවත් තීරණ ගන්න ඔහුට හැකි වෙයි. (රෝම 12:1, 2) ඒ සඳහා දෙමාපියන් වන ඔබට පහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වෙයි.

ෆිලිප්පි 4:5: “ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා!” උදාහරණයකට මෙහෙම හිතන්න. අද හවස මම යාළුවෙක්ගේ ගෙදර තියෙන සාදයට යන්නද කියා පුතා ඇහැව්වොත් ඔබ කෙළින්ම එපා කියල කියනවා. එවිට පුතා “මොකක්ද අනේ යන්න දෙන්නකෝ. මම පොඩි ළමයෙක් නෙමෙයිනේ” කියා ඇවිටිලි කරනවා. එවිට ඔබ කේන්තියෙන් “හැබැයි ඔයා වැඩ කරන්නෙ පොඩි ළමයෙක් වගෙයිනේ” කියා පවසනවා වෙනුවට මේ ගැනත් හිතන්න. මේ වයසේදී දරුවන් ඕනෑවට වඩා නිදහස ඉල්ලන බව ඇත්තයි. එහෙත් බොහෝ දෙමාපියන් කරන්නේ, ටිකක් නිදහසක් දෙන්න පුළුවන් අවස්ථාවලදී පවා එය නොදී තහංචි දැමීමයි. ඔබ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හැටියට කරන්නේ කුමක්ද? ඔබට පුළුවන්ද දරුවාගේ පැත්තෙනුත් හිතලා තව ටිකක් සාධාරණ වෙන්න?

මෙය අත්හදා බලන්න. දරුවාට තව ටිකක් නිදහස දෙන්න පුළුවන් අවස්ථාවක්, දෙකක් කොළයක ලියාගන්න. ඉන්පසු ලියාගත් දේවල් සඳහන් කර ඒවා කරන්න ඔහුට නිදහස දෙන බවත්, එනමුත් වගකීමෙන් වැඩ නොකළොත් ඒ නිදහස අයින් කරන බවත් දරුවාට පැහැදිලි කරන්න.—මතෙව් 25:21.

කොලොස්සි 3:21: “පියවරුනි, ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.” සමහර දෙමාපියන් දරුවන්ට තනිවම කිසිම තීරණයක් ගන්න ඉඩ දෙන්නේ නැහැ. කතා කරන්නෙ කා එක්කද? කතා කරන්නෙ මොනවද? යන්නේ කොහෙද වැනි හැම පුංචි දෙයක්ම පාලනය කරන්න හදනවා. නමුත් අන්තිමට ඒකෙන් සිදු වන්නේ දරුවන්ට දෙමාපියන්ව එපා වී ඔවුන් තුළ කැරලිකාර ස්වභාවයක් ඇති වීමයි. තීරණ ගැනීමට දරුවන්ව නිවසේදීම පුරුදු කරන්නේ නැත්නම් වැඩිහිටියෙක් වෙද්දී ඔවුන් නැණවත් තීරණ ගන්නේ කොහොමද?

මෙය අත්හදා බලන්න. දරුවා වෙනුවෙන් හැම තීරණයක්ම නොගෙන දරුවාට හොඳ තීරණ ගන්න උපකාර කරන්න. ඔහු ගන්නා තීරණ ඔහුට බලපාන්නේ කෙසේද කියා ඔහුටම තේරුම්ගන්න සලස්වන්න. උදාහරණයකට දරුවා සමහර මිතුරන් සමඟ කරන ආශ්‍රය ගැන කතා කරන විට ඒ මිතුරාව විවේචනයට ලක් නොකර මෙසේ අසන්න. “[නම], ඔයාගේ යාළුවෙක්නේ පුතා. හැබැයි එයා වරදක් කරලා ප්‍රින්සිපල්ට හරි පොලීසියට හරි අහු වුණොත්? ඒකෙන් ඔයාටත් ලැජ්ජාවක් ඇති වෙන්නේ නැද්ද?” දරුවාට බනින්නේ නැතුව මේ විදිහට යාළුවන්ව එයාගේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියා එයාටම තේරුම්ගන්න අවස්ථාව දෙන්න.—හිතෝපදේශ 11:17, 22; 20:11.

එෆීස 6:4. ‘ඔබේ දරුවන්ව තරහා නොගස්වා යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.’ මෙයින් අදහස් කරන්නේ දරුවාට යම් දේවල් නිකම්ම කියලා දීම නොවෙයි. නමුත් දරුවාටම හරි වැරැද්ද තේරුම්ගන්න අවස්ථාව දීමයි. විශේෂයෙන්ම දරුවෙක් ළමා කාලයෙන් නව යොවුන් වියට පා තබද්දී එසේ කිරීම ඉතා වැදගත්. ඒ ගැන ඔන්ඩ්‍රෙ නමැති පියා මෙසේ පවසනවා. “පොඩි කාලේදී ළමයෙක්ට ‘මේක කරන්න, මේක කරන්න එපා’ කිව්වත් ඇති. ඒත් දැන්, තීරණයක් ගන්න එයාට කරුණු පහදා දෙන්න ඕනෙ.”— 2තිමෝති 3:14.

මෙය අත්හදා බලන්න. ගැටලුවක් මතු වන විට මෙසේ කරන්න. ඔබ දරුවා ලෙසත් දරුවා ඔබ ලෙසත් චරිත මාරු කරගන්න. දැන්, මේ ප්‍රශ්නයට දෙමාපියෙක් හැටියට ඔහු ඔබට මොන වගේ උපදෙසක්ද දෙන්නේ කියා බලන්න. ඒ සඳහා තොරතුරු සොයා සතියකින් පසු ඔහුගේ නිගමනය ගැන තමන් සමඟ කතා කරන්න කියා පවසන්න.

ගලාති 6:7. “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය.” කුඩා දරුවෙකුට දඬුවමක් දීමෙන් යම් පාඩමක් උගන්වන්න පුළුවන්. එහෙත් නහඹරයෙකුට ඔහුගේ වරදේ ප්‍රතිඵල විඳින්න ඉඩහැරීම වඩාත් හොඳයි.—හිතෝපදේශ 6:27.

මෙය අත්හදා බලන්න. දරුවා කාට හරි ණය වී තිබෙනවා නම් ඔබ එය නොගෙවා ඔහුටම එය ගෙවන්න සලස්වන්න. නැතහොත් දරුවා පාසැලෙන් කට්ටි පැන්න නිසා ඔබට පාසැලට පැමිණෙන්න කියා ගුරුවරයා පැවසුවොත් එහි ගොස් දරුවාගේ වැරදි වහන්න උත්සාහ නොකරන්න.

නව යොවුන් වියේ සිට වැඩිහිටි විය දක්වා දිවෙන කාලය බාධක සහිත ගමන් මඟකට සමාන කළ හැකියි. එවැනි පාරක ගමන් කිරීම එතරම් පහසු නැහැ. ඒ වුණත් බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති හා උපදෙස් අදාළ කරගැනීමෙන් ඒ ගමන සාර්ථකව යෑමට හැකි වෙයි. දෙමාපියෙනි, ඔබේ ‘දරුවාට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දීම’ සඳහා දරුවාගේ නව යොවුන් විය හොඳම කාලයක් සේ සලකන්න.—හිතෝපදේශ 22:6.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 19 ඡේ. දරුවාව ඔහු හෝ පුතා කියා හඳුන්වා ඇතත් මෙම ලිපියේ තිබෙන ප්‍රතිපත්ති ගෑනු දරුවන්ටත් අදාළයි.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

මගේ දරුවා වැඩිහිටි වියට පා තබන විට මේ දේවල් කරගන්න පුළුවන් වෙයිද?

  • දෙවිට කරන නමස්කාරයට අයිති දේවල් පුරුද්දක් ලෙස දිගටම කරන්න

  • නැණවත් තීරණ ගන්න

  • අනිත් අය සමඟ පෑහී සිටින්න

  • තම ශරීර සෞඛ්‍යය ගැන බලාගන්න

  • මුදල් අරපිරිමසා ගන්න

  • නවාතැන පිළිවෙළකට තබාගන්න හා නඩත්තු කරන්න

  • කවුරුත් කියන තුරු බලා නොසිට කළ යුතු දේවල් කරන්න