Skip to content

පටුනට යන්න

එක බොරුවක් වැසීමට තව බොරුවක්

එක බොරුවක් වැසීමට තව බොරුවක්

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට “පරෙස්සම් වන්න” කියා බයිබල් ලේඛකයෙකු වූ පාවුල් අනතුරු ඇඟෙවුවා. ඔහු “පරෙස්සම් වන්න” කියා පැවසුවේ කුමකින්ද? ඔහු පැවසුවේ ‘මිනිස් සම්ප්‍රදායන්ටද දර්ශනවාදයන් සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න’ කියායි.—කොලොස්සි 2:8.

දෙවෙනි සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන්, පාවුල් දුන් එම අනතුරු ඇඟවීම නොසලකාහරිමින් ක්‍රිස්තියානි ඉගැන්වීම් පහදා දීමට දර්ශනවාදී අදහස් යොදාගත්තා. ඔවුන් එසේ කළේ රෝම අධිරාජ්‍යයේ සිටි උගතුන්ගේ පිළිගැනීම ලබාගැනීමට සහ මිනිසුන්ව ක්‍රිස්තියානි ආගමට හරවාගැනීමට අවශ්‍ය වූ නිසයි.

දර්ශනවාදී අදහස් පිළිගත් ප්‍රසිද්ධ ක්‍රිස්තියානියෙක් ලෙස එවකට සිටි ජස්ටින් මාටර්ව හැඳින්විය හැකියි. ඔහු විශ්වාස කළේ යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර දෙවි තම නියෝජිතයෙක් මාර්ගයෙන් ග්‍රීක දර්ශනවාදීන්ට මඟ පෙන්වූ බවයි. මෙවැනි අදහස් දැරූ ජස්ටින් ඇතුළු තවත් බොහෝ අය දර්ශනවාදී අදහස් සහ බොරු ඉගැන්වීම් ක්‍රිස්තියානි ආගමට ඇතුළත් කළා. ඒ නිසා බොහෝදෙනෙක් ක්‍රිස්තියානි ආගම වැලඳගත්තා.

මෙලෙස ක්‍රිස්තියානි ආගමට ඇතුළු වූ බොරු ඉගැන්වීම් තව තවත් බොරු ඉගැන්වීම් ඇති වීමට මඟ විවර කළා. එම ඉගැන්වීම් අද දක්වාම පැවතවිත් තිබෙන අතර ඒවා නිවැරදියි කියා බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් ඇත්තටම ඒවා නිවැරදිද? ඒ ගැන අපි බයිබලයෙන් සලකා බලමු.