Skip to content

පටුනට යන්න

දරුවන්ට ඉගැන්විය යුත්තේ කවුද?

දරුවන්ට ඉගැන්විය යුත්තේ කවුද?

දරුවන්ට ඉගැන්විය යුත්තේ කවුද?

‘ගෝලයා තම ගුරුතුමාට වඩා උසස් වන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුට හොඳින් උගන්වා තිබුණොත් ඒ ගෝලයා තමාගේ ගුරුවරයාට සමාන වෙයි.’—ලූක් 6:40.

තම දරුවන්ට ආගම ගැන ඉගැන්වීමට තරම් දැනුමක් තමන්ට නැහැ කියා ඇතැම් දෙමාපියන් සිතනවා. ඊට හේතුව තමන් ලබා ඇති අධ්‍යාපනය හෝ ආගම ගැන තිබෙන දැනුම ප්‍රමාණවත් නැහැ කියා ඔවුන් සිතීම විය හැකියි. ඒ නිසා දරුවන්ට ඉගැන්වීමේ වැදගත් කාර්යය ඔවුන් නෑදෑයෙකුට හෝ ආගමික නායකයෙකුට පැවරිය හැකියි.

ආගම ගැන හා සදාචාර ප්‍රමිති ගැන දරුවන්ට උගන්වන්න සුදුසුම අය කවුද? ඒ ගැන බයිබලයේ පවසන දේ සහ පර්යේෂකයන් සොයාගෙන ඇති දේ සලකා බලමු.

පියාගේ වගකීම

බයිබලයේ සඳහන් දේ: “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.”—එෆීස 6:4.

පර්යේෂකයන් පවසන දේ: “ආගමට ළැදි මිනිසුන් සිටින සමාජයක ජීවත් වන පුරුෂයන්, වඩා හොඳ පියවරුන් බවට පත් විය හැකියි. එවැනි සමාජයක සිටින අය අවශ්‍ය උපකාර ලබා දෙමින් යහපත් ජීවිතයක් ගත කරන්න එකිනෙකාට උදව් කරනවා. ඔවුන් එසේ කරන්නේ ආගම තුළින් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන නිසයි.”—Fathers’ Religious Involvement and Early Childhood Behavior, 2009.

දරුවන්ව හදා වඩා ගැනීමට හා ඔවුන්ව පුහුණු කිරීමට පියාට පැවරී තිබෙන කාර්යයෙහි ඇති වැදගත්කම බයිබලයේ කාවද්දා තිබෙනවා. (හිතෝපදේශ 4:1; කොලොස්සි 3:21; හෙබ්‍රෙව් 12:9) නමුත් එහි සඳහන් උපදෙස් අදටත් අදාළද? වර්ෂ 2009දී ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලය පළ කළ ලිපියක පියෙකුගෙන් ඉටු විය හැකි කාර්යය ගැන සඳහන් වුණා. එම කරුණුවලට අනුව පියෙක් දරුවන්ව හදා වඩා ගැනීමට වැඩි වශයෙන් දායක වෙන විට තමන් වටිනා කෙනෙක් යන හැඟීම දරුවා තුළ ඇති වීමටත් සංවේදී කෙනෙක් වීමටත් වැඩි ඉඩකඩක් තිබෙනවා. පියා සමඟ මිතුරෙක් ලෙස ඇසුරු කරන පුතෙක් අසංවර ලෙස හැසිරෙන්න පෙලඹෙන්නේ නැති බවත් දුවෙක් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වන බවත් එම අධ්‍යයනයෙන් හෙළි වුණා. එම තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ බයිබලයේ සඳහන් උපදෙස් අදටත් අදාළ බවයි.

මවගේ වගකීම

බයිබලයේ සඳහන් දේ: “ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.”—හිතෝපදේශ 1:8.

පර්යේෂකයන් පවසන දේ: “පියෙකු තම දරුවන් සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් මවක් තම එක් එක් දරුවා වෙනුවෙන් වැය කරනවා.” (Handbook of Child Psychology, 2006) මව දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන නිසා ඇය කතා කරන හා ක්‍රියා කරන ආකාරය මෙන්ම ඇගේ ආකල්ප දරුවාගේ මානසික වර්ධනයට බොහෝදුරට බලපානවා.

මවත් පියාත් එක්ව දරුවන්ට ආගම ගැන උගන්වන විට දරුවන්ට බොහෝ ප්‍රයෝජන අත් වෙනවා. ඉන් එකක් නම් දරුවන්ට දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ලැබීමයි. එමගින් ඔවුන්ට ජීවිත කාලය පුරාම ප්‍රයෝජන ලැබිය හැකියි. තවත් ප්‍රයෝජනයක් නම් මව සහ පියා සහයෝගයෙන් වැඩ කරන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබීමයි. ඔවුන් වැඩිහිටියන් වී විවාහ වූ පසු තම සහකරු හෝ සහකාරිය සමඟ එකමුතුව වැඩ කරන ආකාරය ඉගෙනගන්න එය ඔවුන්ට උපකාරවත් වෙනවා. (කොලොස්සි 3:18-20) දෙවි ගැන සහ පවුලේ එක් එක් සාමාජිකයාගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න ගැන දරුවන්ට උගන්වන්න අනික් අය යම් සහායක් ලබා දුන්නත් ඒ සඳහා මූලික වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි.

එසේනම් දෙමාපියන් දරුවන්ට උගන්වන්නේ කොහොමද? ඒ සඳහා සාර්ථක ක්‍රම තිබෙනවාද?