Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හිතේ කරදරවලට සහනයක්!

කනස්සල්ලට හේතුව මුදල්ද?

කනස්සල්ලට හේතුව මුදල්ද?

“රටේ ආර්ථිකය බිංදුවටම බැස්සා. කෑම හිඟ වුණා. බඩු මිල ඉහළ ගියා. පෝලිමේ පැය ගණන් ඉඳලා මුලටම යද්දී කෑමත් ඉවරයි. මිනිස්සු බඩගින්නේ වැහැරුණා. සමහරු කලන්තේ දාලා පාරේ වැටුණා. අත්‍යවශ්‍යම දේවල් ගන්න අන්තිමේදී බිලියන ගණන් ගෙවන්න වුණා. සල්ලිවල වටිනාකමත් නැතුව ගියා. බැංකුවෙයි, රක්ෂණයෙයි තිබුණු සල්ලිත් විශ්‍රාම වැටුපත් අහිමි වුණා” කියලා දරුවන් දෙන්නෙක්ගේ පියෙක් වන පෝල් කියනවා.

පෝල්

පවුලේ අයව ජීවත් කරවන්න නම් ‘ප්‍රඥාවන්ත’ වෙන්න ඕන කියලා පෝල් දැනගෙන හිටියා. (හිතෝපදේශ 3:21) පෝල් මෙහෙම කියනවා. “මම ඉලෙක්ට්‍රිකල් වැඩ බාරගත්ත කෙනෙක්. ඒත් මට සිද්ධ වුණා ඕනම වැඩක් කරන්න. ලැබුණේ සාමාන්‍යයෙන් ගෙවන මුදලටත් වඩා අඩු මුදලක්. සමහරු මට සල්ලි වෙනුවට දුන්නේ උයන පිහන දේවල් නැත්නම් ගෙදරදොරේ බඩු. මට සබන් බාර් හතරක් ගෙව්වොත් දෙකක් පාවිච්චි කරලා අනිත් දෙක විකුණුවා. ඒ විදිහට කරපු නිසා කුකුල් පැටව් 40ක් ගන්න පුළුවන් වුණා. උන් ලොකු වුණාම විකුණලා තවත් පැටව් 300ක් සල්ලිවලට ගත්තා. ටික කාලෙකට පස්සේ කුකුල්ලු 50කට ඉරිඟු පිටි මලු දෙකක් හුවමාරු කරගත්තා. ඒකෙන් මගේ පවුලේ අයත් තවත් පවුල් කීපයකුත් හුඟ කාලයක් යැපුණා.”

ඒ වගේම පෝල් දැනගෙන හිටියා දෙවියන්ව විශ්වාස කරන එක තමයි ඥානවන්තම දේ කියලා. දෙවියන්ගේ ආඥාවලට අපි කීකරු වෙනවා නම් ඔහු අපිට උදව් කරනවා. ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් ලබාගන්න එක ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘කන බොන දේ ගැනවත් අඳින පළඳින දේ ගැනවත් සිතසිතා කනස්සලු වෙන්න එපා. සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නවා.’—ලූක් 12:29-31.

දෙවියන්ගේ පරම සතුරා වන සාතන් ශාරීරික අවශ්‍යතා ගැන විතරක් හිතන්න මිනිසුන්ව පොලඹවලා තියෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය දේ ගැන නිතරම කනස්සලු වෙනවා. අත්‍යවශ්‍ය නැති දේවල් ලබාගන්නත් සෑහෙන වෙහෙසක් දරනවා. එතකොට හුඟක් අය ණය වෙනවා. අන්තිමේදී “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි” කියන දේ ඉගෙනගන්නේ වරද්දගෙනයි.—හිතෝපදේශ 22:7.

සමහරු අනුවණ තීරණ ගන්නවා. “සල්ලි හම්බ කරන්න කියලා හිතලා හුඟක් අය පවුලේ අයව, මිතුරන්ව දාලා රට ගියා. සමහරු ගියේ නීති විරෝධී ක්‍රමවලින්. අන්තිමේදී රස්සාවක් හොයාගන්නත් බැරි වුණා. හුඟක් වෙලාවට ඒ අයට පොලිස්සියෙන් බේරෙන්න හැංගෙන්නත් වීදිවල නිදාගන්නත් සිද්ධ වුණා. තමන්ට උදව් කරන්න ඒ අය දෙවියන්ට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒත් අපි දෙවියන්ගේ උපකාරය ඇතුව පවුලේ අයත් එක්ක එකට ප්‍රශ්නවලට මුහුණ දෙන්න තීරණය කළා” කියලා පෝල් කියනවා.

යේසුස්ගේ අවවාදය පිළිපදිමින්

පෝල් තවදුරටත් මෙහෙම කියනවා. “යේසුස් කිව්වේ ‘හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න’ කියලා. ඒ නිසා මං හැමදාම යාච්ඤා කරලා දෙවියන්ගෙන් ඉල්ලුවේ ‘දිනපතා අපට අවශ්‍ය ආහාර ලබා දෙන්න’ කියලයි. යේසුස් පොරොන්දු වුණා වගේම දෙවියන් අපිට උදව් කළා. අපිට ලැබුණේ අපි ආස කරපු දේම නෙමෙයි. දවසක්, විකුණන්නේ මොනවාද කියලා දන්නේ නැතුව මම පෝලිමක හිටියා. මුලට යද්දියි දැක්කේ විකුණන්නේ යෝගට් කියලා. මං යෝගට්වලට ආස නැහැ. ඒත් ඒකත් කෑමක්නේ. ඒ නිසා අපි එදා රෑ කෑවේ යෝගට්. ඒ මුළු කාලෙම එක දවසක්වත් බඩගින්නේ නින්දට යන්න අපිට දුන්නේ නැති එක ගැන දෙවියන්ට මං ස්තුතිවන්ත වෙනවා.” *

“මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—හෙබ්‍රෙව් 13:5

“දැන් නම් මුදල් අතින් ප්‍රශ්නයක් නෑ. ඒත් අපි අද්දැකීමෙන්ම දන්නවා කනස්සල්ලට හොඳම බෙහෙත දෙවියන්ව විශ්වාස කරන එක කියලා. යෙහෝවා * දෙවියන්ගේ කැමැත්ත කරන තාක් කල් ඔහු අපිට උදව් කරනවා. ගීතාවලිය 34:8 තියෙන මේ වචනවල සත්‍යතාව අපි අද්දැක්කා. ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.’ ඒ නිසා ඉදිරියේදිත් ආර්ථික ප්‍රශ්න ආවොත් ඒකට මුහුණ දෙන්න අපි බය නැහැ.

දෙවියන් විශ්වාසවන්ත අයට ‘දිනපතා අවශ්‍ය ආහාර’ ලබාගන්න උදව් කරනවා

“මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ රැකියාවවත් මුදල්වත් නෙමෙයි කෑමයි. අපි බලාගෙන ඉන්නේ දෙවියන්ගේ මේ පොරොන්දුව ඉටු වෙන කල්. ‘පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.’ ඒ වෙන කල් ‘කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.’ ඒ වගේම බයිබලයේ තියෙන මේ වචනත් අපිට ශක්තියක්. ‘ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න. මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත. එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන, “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි” කියා පවසමු.’” *

පෝල් සහ එයාගේ පවුලේ අය වගේ ‘දෙවි සමඟ ගමන් කරන්න’ සැබෑ විශ්වාසයක් අවශ්‍යයි. (උත්පත්ති 6:9) අපි දැන් ලොකු මුදල් ප්‍රශ්නයකට මුහුණ දුන්නත් අනාගතයේදී ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණත් විශ්වාසය සහ ප්‍රඥාව සම්බන්ධයෙන් පෝල්ගේ ආදර්ශයෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්.

ඒත් පවුලේ ප්‍රශ්නයක් නිසා කනස්සල්ලට පත් වෙලා නම් මොනවාද කරන්න පුළුවන්?

^ 10 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.