Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

2021 අගෝස්තු 1

 2020 තුන්දින සමුළුව ඉතිහාසගත වුණ සමුළුවක්! මොකද කලින්ම රෙකෝඩ් කරපු ඒ සමුළුව ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වුණා. හැබැයි මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඉන්ටර්නෙට් පහසුකම නැතුව ඒ සමුළුවෙන් ප්‍රයෝජන ගත්තා. ඒ කොහොමද?

 මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ටීවී එකෙන් සහ රේඩියෝ එකෙන් තුන්දින සමුළුව විකාශනය කරන්න පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුවෙන් සහ ඉගැන්වීම් කමිටුවෙන් අනුමැතිය ලැබුණා. එහෙම දෙයක් කරන්න වුණේ ඇයි? මලාවි කියන්නේ ඉන්ටර්නෙට්වලට වැඩිම වියදමක් යන රටවල්වලින් එකක්. ඒ නිසා ඉන්ටර්නෙට් පහසුකම තියෙන්නේ එහේ ඉන්න අපේ සහෝදරයන්ගෙන් ටිකදෙනෙක්ට විතරයි. මලාවි ශාඛා කමිටුවේ සේවය කරන සහෝදර විලියම් චුම්බි ඒ ගැන මෙහෙම කියනවා. “මෙහේ ඉන්න සහෝදරයන්ට සමුළුව අහන්න පුළුවන් වුණේ රේඩියෝ එකෙනුයි, ටීවී එකෙනුයි විතරයි.” මලාවි ශාඛා කමිටුවේ සේවය කරන සහෝදර ලූකා සිබෙකෝ මෙහෙම කියනවා. “ටීවී එකෙනුයි, රේඩියෝ එකෙනුයි සමුළුව විකාශනය කළේ නැත්නම් අපේ සහෝදරයන් හුඟදෙනෙක්ට මේ සමුළුවෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා.” මොසැම්බික්වලත් අපේ සහෝදරයන්ගෙන් හරිම ටිකදෙනෙක්ට තමයි සමුළුව බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනික උපකරණයකුයි, ඉන්ටර්නෙට් පහසුකමුයි තියෙන්නේ.

සැලසුම් කරපු විදිහ

 කොරෝනා වසංගතය පටන්ගත්ත කාලේ ඉඳලාම ටීවී සහ රේඩියෝ චැනල් හරහා අපේ රැස්වීම් a විකාශනය කළා. ඉතින් අපේ සහෝදරයන් ඒ ආයතනවලින් ඇහුවා සමුළුව විකාශනය කරන්නත් වැඩිපුර වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා.

 හැබැයි මලාවිවල ඉන්න අපේ සහෝදරයන්ට එක අභියෝගයක් තිබුණා. සාමාන්‍යයෙන් එහේ වැඩසටහනක් විකාශනය කරන්න දුන්නේ පැයකට විතරයි. මොකද හුඟදෙනෙක් ලොකු වැඩසටහනක් එක දිගට අහන්නේ නැති වෙයි කියලා ඒ ආයතනවල අය හිතුවා. හැබැයි සහෝදරයෝ පැහැදිලි කළා අපේ වැඩසටහන් අහන අයට කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා. ලොක්ඩවුන් එක තියෙන කාලේදී වුණත් අපි බයිබලේ තියෙන සහනදායි පණිවිඩයක් හැමෝම එක්ක බෙදාගන්නවා කියලත් ඒක හොඳ පුරවැසියන් වෙන්න, පවුල් ජීවිත සතුටින් ගත කරන්න උදව් වෙනවා කියලත් එයාලා පැහැදිලි කළා. ඒක ඇහුවාට පස්සේ අපේ සමුළුව විකාශනය කරන්න වැඩිපුර වෙලාව දෙන්න ඒ ආයතන කැමති වුණා.

 මලාවිවල ටීවී චැනල් එකකිනුයි, රේඩියෝ චැනල් එකකිනුයි මේ සමුළුව විකාශනය කරපු නිසා රට පුරාම හිටපු මිලියන ගාණකට මේ සමුළුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. මොසැම්බික්වල එක ටීවී චැනල් එකකිනුත් රේඩියෝ චැනල් 85කිනුත් සමුළුව විකාශනය කළා.

 රටවල් දෙකටම ටීවී එකෙන් සමුළුව විකාශනය කරන්න රුපියල් 56,37,572ක් (ඩොලර් 28,227ක් b) වියදම් වුණා. රේඩියෝ එකෙන් විකාශනය කරන්න රුපියල් 39,94,454ක් (ඩොලර් 20,000ක්) විතර වියදම් වුණා. සමහර රේඩියෝ චැනල්වල මේ සමුළුව විකාශනය කරන්න රුපියල් 3,000ක (ඩොලර් 15ක) මුදලකුත් රට පුරා විකාශනය කරපු චැනල්වලට රුපියල් 5,54,629ක (ඩොලර් 2,777ක) මුදලකුත් වියදම් වෙලා තියෙනවා.

 සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න අපේ සහෝදරයන් ගොඩක් මහන්සි වුණා. උදාහරණෙකට මලාවිවල ඉන්න අපේ සහෝදරයෝ ඒ ආයතනවලට ගිහින් කතා කරපු නිසා එක ආයතනයක් එයාලගේ ගාණ 30%කින් අඩු කළා. ඒ විදිහට එයාලගේ මහන්සිය නිසා රුපියල් 3,41,725ක්ම (ඩොලර් 1,711ක්ම) ඉතුරු කරගන්න පුළුවන් වුණා. මොසැම්බික්වලත් සමහර ආයතන සාක්ෂිකරුවන්ගේ අවංකකම නිසාත් වෙලාවට ගෙවීම් කරපු නිසාත් ගණන් අඩු කරන්න කැමති වෙලා තියෙනවා.

අගය කරපු විදිහ

 ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි සමුළුවෙන් ප්‍රයෝජන ගන්න ලැබුණ එක අපේ සහෝදරයන් ගොඩක් අගය කළා. මලාවිවල වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සහෝදර පැට්‍රික් මෙහෙම කියනවා. “වසංගතේ තියෙන මේ කාලේත් අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කරපු එක ගැන පාලක මණ්ඩලයට අපි ගොඩක් ස්තුති කරනවා.” මලාවිවල ඉන්න අයිසැක් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “අපිට තියෙන්නේ රේඩියෝ එකක් විතරයි. ඒකෙන් හරි සමුළුව අහන්න යෙහෝවා දෙවියන්ගේ සංවිධානය සැලසුම් කරපු එක අපි ගොඩක් අගය කරනවා. ඒ නිසා අපේ පවුලේ හැමෝටම සමුළුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. යෙහෝවා ඔහුගේ සේවකයන්ට කොච්චර ආදරේද කියලා අපි දැක්කා.”

 මොසැම්බික්වල ප්‍රචාරකයෙක් සමුළුවකට කියලා මුල්ම වතාවට සහභාගි වෙලා තියෙන්නේ 2020 පවත්වපු සමුළුවට. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව පෝෂණය කරන එක නවත්තන්න මේ වසංගතේටවත් පුළුවන් වුණේ නෑ. ගෙදර ඉඳන්ම ටීවී එකෙන් සමුළුව බලන්න මට පුළුවන් වුණා. ඒකෙන් මට හොඳටම තේරුණා යෙහෝවා තමයි සියලු බලැති දෙවියන් කියලා. ඔහුගේ සෙනඟ අතරේ කොච්චර ආදරයක් තියෙනවාද කියලා මං දැක්කා. මේක තමයි සැබෑ ආගම කියලා දැන් නම් මට කිසිම සැකයක් නෑ.”

 වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සහෝදර වයිසන් කියන දේ බලන්න. “වසංගතේ තියෙන කාලේ පුරාම අපිව දිගටම පෝෂණය කරන්න විශ්වාසවන්ත නුවණැති දාසයා කරපු හැම දේකටම මං ගොඩක් ස්තුති කරනවා. අපි වගේ දුප්පත් රටවල ඉන්න අයට වුණත් ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි සමුළුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණ එක ඇත්තටම හුඟක් වටිනවා.”

 2021 පවත්වන තුන්දින සමුළුවත් තෝරාගත් රටවල් කීපයකටම ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි විකාශනය කරන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුවෙන් සහ ඉගැන්වීම් කමිටුවෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ විදිහට සමුළු පවත්වන්න යන වියදම් පියවගන්නේ කොහොමද? ඒ අපේ සහෝදර සහෝදරියන් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් දෙන සම්මාදම්වලින්. හුඟක් අය සම්මාදම් කරලා තියෙන්නේ donate.mt711.com එක හරහා තියෙන විවිධ ක්‍රමවලින්. ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි.

a කොරෝනා වසංගතය නිසා තෝරාගත් රටවල් කීපයක 2020 මුලදී ටීවී එක සහ රේඩියෝ එක හරහා අපේ රැස්වීම් විකාශනය කරන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුවෙන් අනුමැතිය ලැබුණා. ඒ නිසා ඉන්ටර්නෙට් පහසුකම් සහ දුරකතන පහසුකම් නැති එහෙමත් නැත්නම් ඒවාට යන වියදම දරන්න බැරි අයට වුණත් රැස්වීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. ඒ වගේ සැලැස්මක් ඇති කළේ සභාවක් එක්ක එකතු වෙලා රැස්වීම්වලට සහභාගි වෙන්න බැරි අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් විතරයි.

b මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.