Skip to content

පටුනට යන්න

බැබිලෝනියේ වහලුන් විදිහට යුදෙව්වරුන් ගත කරපු ජීවිතය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිද?

බැබිලෝනියේ වහලුන් විදිහට යුදෙව්වරුන් ගත කරපු ජීවිතය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිද?

 මීට අවුරුදු 2,600කට විතර කලින් යුදෙව්වන්ව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා. ඒ අයට අවුරුදු 70ක් විතර එහේ වහල්භාවයේ ඉන්න වුණා. බැබිලෝනියේදී යුදෙව්වන්ට අද්දකින්න ලැබෙන දේවල් ගැන දෙවියන් කලින්ම කියලා තිබුණා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔබ දැන් ජීවත් වන දේශයෙහි ගෙවල් ගොඩනඟා ඒවාහි පදිංචි වන්න. දේශයෙහි වගා කටයුතු කර, එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්න. විවාහ වී දරුදැරියන් බිහි කරන්න. . . . මා ඔබව වහල්භාවයට යැවූ නගරය තුළ සාමය රැකෙන අයුරින් ජීවත් වන්න.” (යෙරෙමියා 29:1, 4-7) යුදෙව්වන් ඇත්තටම ඒ දේවල් අද්දැක්කාද?

 බැබිලෝනියෙන් සහ ඒ අවටින් හොයාගත්ත මැටි පුවරු 100කට වැඩි ප්‍රමාණයක තිබුණු තොරතුරු පර්යේෂකයන් අධ්‍යයනය කරලා තියෙනවා. වහල්භාවයේ ඉද්දීත් හුඟක් යුදෙව්වන් තමන්ගේ ආගම අදහමින් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිමින් බැබිලෝනියේ නීතියට යටත් වෙලා සාමකාමී ජීවිතයක් ගත කරලා තියෙනවා කියලා ඒ අධ්‍යයනයෙන් හොයාගෙන තියෙනවා. ක්‍රි.පූ. 572ත් 477ත් අතර කාල වකවානුවට අයිති ඒ මැටි පුවරුවල කුලී ගිවිසුම්, වෙළඳ ගිවිසුම්, පොරොන්දු පත්‍ර සහ ව්‍යාපාර ගනු දෙනු ගැන සඳහන් වෙලා තිබුණා. එක මූලාශ්‍රයක ඒ මැටි පුවරු ගැන මෙහෙම සඳහන් වෙනවා. “බැබිලෝනියට අරන් ගිය යුදෙව්වන් ගම්බද පළාත්වල ජීවත් වුණු සාමාන්‍ය ජීවිතයක් ගත කළ මිනිසුන් කියන එක ඒ මැටි පුවරුවල තියෙන තොරතුරුවලින් තේරුම්ගන්න පුළුවන්. ඒ අය ගෙවල් ගොඩනඟාගෙන, ගොවිතැන් කටයුතු කරමින්, බදු ගෙවමින් සහ රජුට සේවය කරමින් ජීවත් වුණා.”

යූදා නගරයෙන් සොයාගත් උල් හැඩැති අකුරු තියෙන මැටි පුවරුවක්

 අල් යාහූඩු නැත්නම් යූදා නගරය විදිහට හඳුන්වපු ප්‍රදේශයේ යුදෙව්වන් විශාල පිරිසක් පදිංචි වෙලා ඉඳලා තියෙනවා කියලත් ඒ මැටි පුවරුවලින් හෙළි වෙලා තියෙනවා. යුදෙව් පවුලක පරම්පරා හතරකට අයත් පුද්ගලයන්ගේ නම් ඒ මැටි පුවරුවල කොටලා තියෙනවා. සමහර නම් කොටලා තියෙන්නේ පුරාණ හෙබ්‍රෙව් අකුරුවලින්. යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් විදිහට ගෙවපු ජීවිතය ගැන විශාරදයන්ට හරියටම දැනගන්න ලැබුණේ ඒ මැටි පුවරුවල සඳහන් තොරතුරු ගැන අධ්‍යයනය කළාට පස්සෙයි. ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යා අධිකාරියේ සාමාජිකයෙක් වන මහාචාර්ය ෆිලිප් වුකසවොවිච් මෙහෙම කියනවා. “හොයාගත්ත ඒ මැටි පුවරු නිසා වහල්භාවයේ හිටිය යුදෙව්වන් ගැන අපි දැනන් හිටියේ නැති හුඟක් තොරතුරු අපි දැනගත්තා. එයාලගේ නම් මොනවාද, එයාලා ජීවත් වුණේ කොයි කාලෙද, එයාලා ජීවත් වුණේ මොන මොන පැතිවලද, එයාලා කරපු දේවල් මොනවාද වගේ දේවල් ගැන අපිට දැනගන්න පුළුවන් වුණා.”

බැබිලෝනියේ වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට යම් නිදහසක් තිබුණා

 ජීවත් වෙන්න ඕනෙ කොහෙද, කරන්නේ මොනවාද කියලා තීරණය කරන්න ඒ යුදෙව්වන්ට යම් නිදහසක් තිබුණා. “අල් යාහූඩු කියන ප්‍රදේශයේ විතරක් නෙවෙයි තවත් නගර කිහිපයකම යුදෙව්වන් ජීවත් වෙලා තියෙනවා” කියලත් මහාචාර්ය වුකසවොවිච් කියනවා. බැබිලෝනියේ ඉද්දී සමහර යුදෙව්වන් විවිධ දක්ෂතා ප්‍රගුණ කරගෙන තිබුණු නිසා පස්සේ කාලෙක යෙරුසලම නැවත ගොඩනඟද්දී ඒ දක්ෂතා හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. (නෙහෙමියා 3:8, 31, 32) වහල්භාවයෙන් නිදහස් වුණාට පස්සෙත් යුදෙව්වන් හුඟදෙනෙක් දිගටම එහේ ජීවත් වුණා කියලත් අල් යාහූඩු මැටි පුවරුවලින් තහවුරු වෙනවා. දෙවියන් කියලා තිබුණු විදිහටම යුදෙව්වන් බැබිලෝනියේ ඉද්දී යම් දුරකට සාමකාමී ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.