Skip to content

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔයා දෙවිව හොඳින් දැන හඳුන ගෙන, දෙවියන් ගැන ලොකු ආදරයක් ඇතුව දෙවිට සේවය කරන එක තමයි දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. (මතෙව් 22:37, 38; යාකොබ් 4:8) දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන ඒ දේ කරන්න යේසුස්ගේ ආදර්ශය හා ඔහුගේ ඉගැන්වීම් ඔයාට උදව් වෙනවා. (යොහන් 7:16, 17) යේසුස්ගෙන් දෙවියන් බලාපොරොත්තු වුණු හැම දෙයක්ම ඔහු ඒ විදිහටම ඉටු කළා. “මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—යොහන් 6:38.

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා දැනගන්න විශේෂ ලකුණක් හෝ කැඳවීමක් ඕනද?

 නැහැ. දෙවියන් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා බයිබලේ තියෙනවා. (2 තිමෝති 3:16, 17) ඔයා බයිබලේ තියෙන දේවල් කියවලා දෙවියන් බලාපොරොත්තු වෙන දේ ගැන අවබෝධයක් ලබාගන්නවටයි දෙවියන් කැමති.—රෝම 12:1, 2; එෆීස 5:17.

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන දේ මට කරන්න පුළුවන්ද?

 ඔව්. බයිබලේ කියන්නේ ‘දෙවිගේ ආඥා පිළිපැදීම බරක් නොවේ’ කියලයි. (1 යොහන් 5:3) ඒකෙන් අදහස් කරන්නේ දෙවිගේ ආඥා පිළිපදින එක හරිම ලේසි දෙයක් කියන එක නෙමෙයි. ඒකට අපි වෑයමක් දරන්න ඕනේ. ඒත් ඒ වෑයමට වඩා ඒවා පිළිපදින කොට ලැබෙන ආශීර්වාද ගොඩක් වැඩියි. යේසුස් මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”—ලූක් 11:28.