Skip to content

යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?

යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් තමන්ගේ ජීවිතය පූජා කරලා විශ්වාසවන්ත අයට ගැලවීම ලබාගන්න මඟ විවර කළා. (මතෙව් 20:28) බයිබලේ යේසුස්ව හඳුන්වන්නේ ‘මෙලොවට එවා ඇති ගැලවුම්කරු’ කියලයි. (1 යොහන් 4:14) ඒ වගේම බයිබලේ යේසුස් ගැන මෙහෙමත් සඳහන් වෙනවා. “වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”—ක්‍රියා 4:12.

 යේසුස්, තමන් ගැන විශ්වාසය තබන “සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් වුණා.” ඒ නිසා ඔහු ගැන විශ්වාසය තියෙන හැම කෙනෙක්ටම මරණය කියන සතුරාගෙන් ගැලවෙන්නත් සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්නත් පුළුවන්. (හෙබ්‍රෙව් 2:9; යොහන් 3:16) ඊටපස්සේ යේසුස්ව යෙහෝවා “දෙවි මරණයෙන් නැවත නැඟිටෙව්වා.” දෙවියන් ඔහුව නැවත නැඟිටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහටයි. (ක්‍රියා 3:15) ඒ නිසා “ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන්.” ඒකට හේතුව “ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසයි.”—හෙබ්‍රෙව් 7:25.

යේසුස් අපි වෙනුවෙන් කන්නලව් කරන්න ඕනේ ඇයි?

 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. (රෝම 3:23) ඒ පාපය නිසා අපිට කෙලින්ම දෙවියන්ට ළඟා වෙන්න බැහැ. (රෝම 6:23) ඒත් අපි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරනවා නම් යෙහෝවා දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න යේසුස් අපිට ‘උපකාර කරනවා.’ (1 යොහන් 2:1) ඔහු අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරලා අපේ යාච්ඤාවලට සවන් දෙන්න කියලත් අපේ පව්වලට සමාව දෙන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒ දේ කරන්න ඔහුට පුළුවන් වෙන්නේ ඔහු අපි වෙනුවෙන් ජීවිතය දුන්න නිසයි. (මතෙව් 1:21; රෝම 8:34) යේසුස් කරන ඒ වගේ කන්නලව් යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟ නිසා දෙවියන් ඒ වෙනුවෙන් පියවර ගන්නවා. දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ ‘ඔහු මාර්ගයෙන් මිනිසුන්ට ගැලවීම ලබා දීමටයි.’—යොහන් 3:17.

ගැලවීම ලබාගන්න යේසුස් ගැන විශ්වාස කරන එක විතරක් ඇතිද?

 ඇත්ත අපි යේසුස් ගැන විශ්වාස කරන්න ඕනේ. ඒත් ගැලවීම ලබාගන්න නම් නිකම්ම ඔහු ගැන විශ්වාස කරන එක විතරක් මදි. (ක්‍රියා 16:30, 31) බයිබලේ කියන්නේ “පණ නැති ශරීරයක් මැරුණු ශරීරයකි. ඒ හා සමානව ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි” කියලයි. (යාකොබ් 2:26) එහෙනම් අපි මොනවද කරන්න ඕනේ?

  •   යේසුස් ගැනත් ඔහුගේ පියාණන් වන යෙහෝවා දෙවි ගැනත් ඉගෙනගන්න ඕනේ.—යොහන් 17:3.

  •   යේසුස් ගැනත් යෙහෝවා දෙවි ගැනත් විශ්වාසයක් ඇති කරගන්න ඕනේ.—යොහන් 12:44; 14:1.

  •   යේසුස්ගේ සහ යෙහෝවා දෙවිගේ ආඥාවලට කීකරු වෙලා අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න ඕනේ. (ලූක් 6:46; 1 යොහන් 2:17) මොකද තමන්ට “ස්වාමීනි” කියන හැම කෙනෙක්ම ගැලවීම ලබාගන්නේ නැහැ කියලත් ගැලවීම ලැබෙන්නේ “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන” අයට විතරයි කියලත් යේසුස් කිව්වා.—මතෙව් 7:21.

  •   මොන තරම් දුෂ්කර දේවලට මුහුණ දෙන්න වුණත් අපේ විශ්වාසය නැති කරගන්න හොඳ නැහැ. මොකද යේසුස් කිව්වේ “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තා” කියලයි.—මතෙව් 24:13.