Skip to content

සූදුවේ යෙදෙන එක වැරදියිද?

සූදුවේ යෙදෙන එක වැරදියිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ සූදුව ගැන හුඟක් විස්තර සඳහන් වෙලා නැහැ. ඒත් සූදුවේ නියැලෙන එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පුළුවන් ප්‍රතිපත්ති ගණනාවක්ම බයිබලයේ සඳහන් වෙනවා.—එෆීස 5:17. a

  •   සූදුවේ නියැලෙන අය සල්ලිවලට කෑදරයි. ඒකට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (1 කොරින්ති 6:9, 10; එෆීස 5:3, 5) එයාලා බලන්නේ අනිත් අයව පරද්දලා ඒ අයගේ සල්ලි තමන්ට අයිති කරගන්න. ඒත් බයිබලයේ කියන්නේ අනිත් අයට අයිති දේවල් තමන්ට අයිති කරගන්න ආස වෙන්න එපා කියලයි.—නික්මයාම 20:17; රෝම 7:7; 13:9, 10.

  •   පොඩි ගාණකට හරි සූදුවේ නියැලුණත් ඒකෙන් සල්ලිවලට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒක හරිම භයානකයි.—1 තිමෝති 6:9, 10.

  •   වාසනාව නිසා හරි ගුප්ත බලවේගයක් නිසා හරි ජය ලැබෙනවා කියලා සූදුවේ යෙදෙන ගොඩක් අය විශ්වාස කරනවා. ඒත් දෙවියන් ඒක දකින්නේ රූප නමස්කාරය තරම් බරපතළ වරදක් විදිහටයි.—යෙසායා 65:11.

  •   සූදුවේ නියැලෙන අය උත්සාහ කරන්නේ පොඩි ගාණක් යොදවලා ලොකු ගාණක් දිනාගන්න. නමුත් බයිබලයේ කියන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කියලයි. (දේශනාකාරයා 2:24; එෆීස 4:28) ඒ උපදෙස අදාළ කරගන්න අය ‘තමාගේ වෙහෙස මහන්සියෙන් උපයාගත් දෙයින් තම කුසගින්න නිවාගන්නවා.’—2 තෙසලෝනික 3:10, 12.

  •   සූදුවේ යෙදෙන අය අතරේ තියෙන්නේ තරඟකාරිත්වයක්. බයිබලයේ කියන්නේ අපි තරඟකාරී ස්වභාවයෙන් වැළකෙන්න ඕනෙ කියලයි.—ගලාති 5:26.

a බයිබලයේ සූදුව ගැන කෙළින්ම කතා කරන්නේ රෝම සොල්දාදුවන් යේසුස්ගේ ඇඳුම් බෙදාගන්න ‘දාදු දැමූ’ අවස්ථාව ගැන සඳහන් කරද්දියි.—මතෙව් 27:35; යොහන් 19:23, 24.