Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගම පිළිගන්න කියලා එයාලගේ දරුවන්ට බල කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගම පිළිගන්න කියලා එයාලගේ දරුවන්ට බල කරනවාද?

 නැහැ. දෙවියන්ට නමස්කාර කරනවාද නැද්ද කියන එක පෞද්ගලිකව ගන්න ඕනෙ තීරණයක්. (රෝම 14:12) සාක්ෂිකරුවන් එයාලගේ දරුවන්ට බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කියලා දෙනවා. ඒත් තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනවාද නැද්ද කියන එක, ඒ දරුවන් තීරණ ගන්න පුළුවන් වයසට එද්දී හිතලා බලලා ගන්න ඕන තීරණයක්.—රෝම 12:2; ගලාති 6:5.

 අනිත් දෙමාපියන් වගේ සාක්ෂිකාර දෙමාපියනුත් ආසයි එයාලගේ දරුවන් සතුටින් ජීවත් වෙනවාට. ඒ නිසා එයාලා දරුවන්ට හොඳ ගුණධර්ම කියලා දෙනවා. එදිනෙදා ජීවිතය හොඳින් ගත කරන්න අවශ්‍ය හොඳ මඟ පෙන්වීම්, සදාචාර ප්‍රමිති වගේම තමන් අදහන ආගමික විශ්වාසයනුත් ඒවාට ඇතුළත්. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයේ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන නිසා තමන්ගේ දරුවන්ගේ හිත්වලට ඒ තොරතුරු කාවද්දන්න සාක්ෂිකාර දෙමාපියන් මහන්සි වෙනවා. (ද්විතීය කතාව 6:6, 7) ඒ නිසයි බයිබලයේ තියෙන තොරතුරු දරුවන්ට උගන්වන්නත් සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට එයාලව එක්කගෙන යන්නත් දෙමාපියන් උත්සාහ කරන්නේ. තීරණ ගන්න පුළුවන් වයසට ආවාම තමන් දෙමාපියන්ගේ ආගම අදහනවාද නැද්ද කියලා පුංචි කාලයේ ඉඳලා ලබන අවබෝධය පදනම් කරගෙන හිතලා බලලා තීරණයක් ගන්න ඒ දරුවන්ට නිදහස තියෙනවා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ළදරුවන්ව බව්තීස්ම කරනවාද?

 නැහැ. ළදරුවන්ව බව්තීස්ම කරන එක බයිබලයේ අනුමත කරලා නැහැ. උදාහරණයකට පළවෙනි ශතවර්ෂයේ හිටපු ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න කලින් ශුභාරංචියට සවන් දීලා ඒ පණිවිඩය “මුළු හදවතින්ම පිළිගෙන” පසුතැවිලි වුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 2:14, 22, 38, 41) එහෙම බලද්දී බව්තීස්ම වන කෙනෙක්, බයිබලයේ කියලා තියෙන දේවල් තේරුම්ගන්න පුළුවන් වයසක ඉන්න ඕනේ. එයා ඒ ඉගැන්වීම් විශ්වාස කරන්න ඕනේ. ඒ අනුව ජීවත් වෙනවා කියලා තීරණයක් අරගෙන ඉන්නත් ඕනේ. ළදරුවෙක් කොහොමද ඒ දේවල් කරන්නේ? ඒ දේවල් කරන්න එයාට හැකියාවක් නැහැ.

 දරුවන් වයසින් වැඩෙද්දී එයාලා බව්තීස්ම වෙන්න තීරණයක් ගන්න ඉඩ තියෙනවා. ඒක එයාලා දෙවියන්ට වෙන පොරොන්දුවක්. ඒ නිසා බව්තීස්ම වෙන්න කලින් ඒ පොරොන්දුවට අයිති මොනවාද කියලා එයාලා හරියට තේරුම්ගන්න ඕනේ.

 දරුවා බව්තීස්ම නොවී ඉන්න තීරණය කළොත් සාක්ෂිකරුවන් වන දෙමාපියන් ඒ දරුවා එක්ක තියෙන බැඳීම නවත්වලා දානවාද?

 නැහැ. තමන් අදහන ආගම තමන්ගේ දරුවා අදහන්නේ නැති වෙද්දී සාක්ෂිකාර දෙමාපියන්ට දුකක් දැනෙනවා තමයි. ඒත් දරුවා සාක්ෂිකරුවෙක් වෙන්න අකමැති වුණා කියලා එයා ගැන තියෙන ආදරේ අඩු වෙනවා කියලවත් එයාත් එක්ක කිසි ඇසුරක් පවත්වන්නේ නැහැ කියලවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.

අපේ වයස මොකක් වුණත් බව්තීස්ම වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ අපිමයි

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා සේවයේ යද්දී එයාලගේ දරුවන්ව එක්කගෙන යන්නේ ඇයි?

 අපේ දරුවන්ව අපිත් එක්ක දේශනා සේවයේ එක්කගෙන යන්න හේතු කිහිපයක්ම තියෙනවා. a

  •   දරුවන්ට දෙවියන් ගැන කියලා දීලා ඔහුට නමස්කාර කරන්න එයාලව පුරුදු කරන්න කියලා බයිබලයේ දෙමාපියන්ට උපදෙස් දීලා තියෙනවා. (එෆීස 6:4) තමන් විශ්වාස කරන දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන එක අපේ නමස්කාරයට ඇතුළත් දෙයක්. ඒ නිසා අපේ දෙවියන්ට නමස්කාර කරන විදිහ දරුවන්ට කියලා දෙද්දී එයාලව දේශනා සේවයේ එක්කගෙන යන එකත් ඒකට ඇතුළත් වැදගත් දෙයක්.—රෝම 10:9, 10; හෙබ්‍රෙව් 13:15.

  •   ‘ස්වාමීන්ට ප්‍රශංසා කරන්න’ කියලා විශේෂයෙන් තරුණ අයට බයිබලයේ දිරිගන්වලා තියෙනවා. (ගීතාවලිය 148:12, 13, ‘පැරණි අනුවාදය’) දෙවියන්ට ප්‍රශංසා කරන්න පුළුවන් ප්‍රධාන විදිහක් තමයි ඔහු ගැන අනිත් අය එක්ක කතා කරන එක. b

  •   දෙමාපියන් එක්ක දේශනා සේවයේ යන එකෙන් දරුවන්ට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයකට විවිධ අයත් එක්ක අර්ථවත් විදිහට සාකච්ඡාවක් ගොඩනඟන විදිහ එයාලා ඉගෙනගන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් අය ගැන හිතන්න, ඒ අයට අනුකම්පා කරන්න, කරුණාව පෙන්වන්න, ගරු කරන්න වගේ වටිනා ගුණාංග වර්ධනය කරන්නත් එයාලට පුළුවන් වෙනවා. ඒ වගේම තමන් විශ්වාස කරන දේට තියෙන බයිබල් පදනමත් එයාලගේ මනසේ කාවදිනවා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිවාඩු දින සහ වෙනත් උත්සව සමරනවාද?

 යෙහෝවා දෙවියන්ව අසතුටු කරන ආගමික නිවාඩු දින හෝ වෙනත් උත්සවවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහභාගි වෙන්නේ නැහැ. c (2 කොරින්ති 6:14-17; එෆීස 5:10) උදාහරණයකට බයිබලයට පටහැනි ඉගැන්වීම් මුල් කරගෙන ආරම්භ වුණ උපන්දින සහ නත්තල් උත්සවවලට අපි සහභාගි වෙන්නේ නැහැ.

 අපේ පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරලා, අපේ දරුවන්ට ත්‍යාගශීලීව දේවල් දීලා අපි සතුටක් ලබනවා. පවුලේ අය එකට එකතු වෙන්න හරි, එකිනෙකාට තෑගි දෙන්න හරි විශේෂ දවසක් අපිට ඕනෙ නැහැ. අපි අවුරුද්දේ ඕනෙම දවසක එකතු වෙලා සතුටු වෙනවා. තෑගිබෝග බෙදා ගන්නවා.

තම දරුවන්ට තෑගි දෙන්න ක්‍රිස්තියානි දෙමාපියන් හරි ආසයි

a සාමාන්‍යයෙන් සාක්ෂිකාර දරුවන් දෙමාපියන්ගෙන් කෙනෙක් එක්ක හරි එයාලව බලාගන්න පුළුවන් වෙනත් වැඩිහිටියෙක් එක්ක හරි තමයි දේශනා සේවයේ යන්නේ. එහෙම නැතුව සේවයේ යන්නේ නැහැ.

b තමන් විශ්වාස කරපු දේවල් ගැන අනිත් අයට කතා කරලා දෙවියන්ව සතුටු කරපු දරුවන් කිහිපදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.—2 රාජාවලිය 5:1-3; මතෙව් 21:15, 16; ලූක් 2:42, 46, 47.

d සමහර නම් වෙනස් කරලා තියෙනවා.