යොහන් 9:1-41

9  යේසුස් ගමන් කරමින් සිටියදී, උපතින්ම අන්ධ වී සිටි මිනිසෙකුව දුටුවේය.  එවිට ඔහුගේ ගෝලයෝ, “ගුරුතුමනි,+ මේ මිනිසා අන්ධ වී ඉපදුණේ කවුරු කළ පාපයක් නිසාද? පව් කළේ+ ඔහුද නැත්නම් ඔහුගේ දෙමාපියන්ද”+ කියා ඔහුගෙන් ඇසූහ.  යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “මේ මිනිසාවත් ඔහුගේ දෙමාපියන්වත් පව් කළේ නැහැ. නමුත් මේ වගේ දෙයක් සිදු වී තිබෙන්නේ දෙවිට කළ හැකි දේ ඔහු තුළින් දැකගැනීමට හැකි වීම සඳහායි.+  තවමත් පවතින්නේ දිවා කාලයයි. ඒ කාලයේදී මාව එවූ තැනැත්තා පැවරූ වැඩ කොටස අප කළ යුතුයි.+ මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය+ පැමිණෙයි.  මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය හැටියට සිටින්නේ මමයි.”+  ඒ දේවල් පැවසූ පසු ඔහු බිමට කෙළ ගසා මැටි පිඩක් සෑදුවේය. ඉන්පසු ඔහු එම මැටි පිඩ ඒ මිනිසාගේ ඇස් මත තබා,+  “දැන් සිලෝම් පොකුණට+ ගොස් ඔබේ ඇස් දෙක සෝදාගන්න”+ කියා ඔහුට කීවේය. (සිලෝම්හි තේරුම, ‘ගලා එන දිය උල්පත’ යන්නයි.) ඔහු ගොස් ඇස් දෙක සෝදාගෙන+ ආපසු පැමිණි විට ඔහුට පෙනීම ලැබී තිබිණ.+  එවිට අසල්වැසියෝද ඔහු හිඟන්නෙකු බව දැන සිටි අයද, “මේ අතන ඉඳගෙන හිඟා කෑ මිනිසා නේද” කියා ඇසූහ.+  “මේ ඔහු තමයි” කියා තවත් සමහරු කීවෝය. තවත් කිහිපදෙනෙක්, “නැහැ, මේ ඔහු නොවෙයි. මේ ඔහු වගේ වෙනත් කෙනෙක්” කියා පැවසූහ. එවිට ඒ මිනිසා, “මම තමයි ඒ මිනිසා” කියා කීවේය. 10  එවිට ඔවුහු, “ඔබට පෙනීම ලැබුණේ කොහොමද”+ කියා ඔහුගෙන් ඇසූහ. 11  ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “යේසුස් කියන මිනිසා ඇවිත් මැටි පිඩක් සාදා මගේ ඇස්වල තවරා, ‘සිලෝම් පොකුණට ගොස්+ ඔබේ ඇස් දෙක සෝදාගන්න’ කියා මට කිව්වා. මම ගොස් ඇස් දෙක සෝදාගත්තා. ඊටපස්සේ මට පෙනීම ලැබුණා.” 12  එවිට ඔවුහු, “ඒ මිනිසා දැන් කොහේද ඉන්නේ” කියා ඔහුගෙන් ඇසූහ. “මම දන්නේ නැහැ” කියා ඔහු පිළිතුරු දුන්නේය. 13  ඉන්පසු ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසාව පරිසිවරුන් ළඟට ගෙන ගියහ. 14  යේසුස් මැටි පිඩක් සාදා එම මිනිසාට පෙනීම ලබා දී තිබුණේ+ සබත් දවසකදීය.+ 15  පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේද කියා+ ඔහුගෙන් ප්‍රශ්න කළෝය. “ඔහු මගේ ඇස් මත මැටි පිඩක් තැබුවා. මම ඇස් දෙක සෝදාගත් විට මට පෙනීම ලැබුණා” කියා ඔහු ඔවුන්ට කීවේය. 16  එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඔහු සබත් දවස පවත්වන්නේ නැහැ. එහෙමනම් කොහොමද ඔහු දෙවි එවූ මිනිසෙක් කියා කියන්නේ”+ කියා පැවසූහ. නමුත් තවත් සමහරු, “ඒ මිනිසා පව්කාරයෙක් නම් ඔහු මෙවැනි ලකුණු සිදු කරන්නේ කොහොමද”+ කියා ඇසූහ. එහෙයින් ඔවුන් අතරේ මතභේදයක් ඇති විය.+ 17  ඔවුහු නැවතත් අන්ධ මිනිසාට මෙසේ පැවසූහ. “දැන් ඔබ කියන්නේ ඒ මිනිසා ඔබට පෙනීම ලබා දුන්නා කියලයි. ඉතින් ඔහු ගැන මොනවාද ඔබට කියන්න තිබෙන්නේ?” “ඔහු අනාගතවක්තෘවරයෙක්”+ කියා ඒ මිනිසා පිළිතුරු දුන්නේය. 18  නමුත් ඒ මිනිසා කලින් අන්ධව සිටි බව යුදෙව් ආගමික නායකයෝ විශ්වාස කළේ නැත. එහෙයින් ඔවුහු ඒ මිනිසාගේ දෙමාපියන්ව කැඳෙව්වෝය. 19  එවිට ඔවුහු ඔහුගේ දෙමාපියන්ගෙන් මෙසේ ඇසුවෝය. “අන්ධ වී ඉපදුණා කියා ඔබ කියන ඔබේ පුතා මොහුද? එසේනම් දැන් ඔහුගේ ඇස් පෙනෙන්නේ කොහොමද?” 20  එවිට ඔහුගේ දෙමාපියෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “මේ අපේ පුතා තමයි. ඔහු උපතින්ම අන්ධව සිටියා. 21  නමුත් අපි දන්නේ නැහැ ඔහුට පෙනීම ලැබුණේ කොහොමද කියලා. ඔහුට පෙනීම ලබා දුන්නේ කවුද කියාවත් අපි දන්නේ නැහැ. ඔහු යමක් කමක් තේරෙන වයසේ ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ ගැන ඔහුගෙන්ම අහන්න. ඔහුට පුළුවන්කමක් තිබෙනවා ඒ ගැන කියන්න.” 22  ඔහුගේ දෙමාපියන් එසේ පැවසුවේ ඔවුන් යුදෙව් ආගමික නායකයන්ට බියෙන් සිටි නිසාය.+ මන්ද යමෙකු යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට+ ඒ වන විට යුදෙව් ආගමික නායකයන් තීරණය කර තිබිණ. 23  ඔහුගේ දෙමාපියන්, “ඔහු යමක් කමක් තේරෙන වයසේ කෙනෙක්. ඒ නිසා ඒ ගැන ඔහුගෙන්ම අහන්න” කියා පැවසුවේ ඒ නිසාය. 24  එහෙයින් ඔවුහු කලින් අන්ධව සිටි මිනිසාව දෙවෙනි වරටත් කැඳවා, “ඒ මිනිසා පව්කාරයෙක් කියා අපට ස්ථිරයි. ඒ නිසා දෙවි ඉදිරියේම ඇත්ත කියන්න”+ කියා ඔහුට කීවෝය. 25  ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “ඔහු පව්කාරයෙක්ද නැද්ද කියා නම් මම දන්නේ නැහැ. නමුත් මට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. මම කලින් අන්ධ වෙලයි සිටියේ. නමුත් දැන් මට පේනවා.” 26  එවිට ඔවුහු, “ඔහු ඔබට මොනවාද කළේ? ඔහු ඔබේ ඇස්වලට පෙනීම ලබා දුන්නේ කොහොමද” කියා ඔහුගෙන් ඇසූහ. 27  ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම ඒ දේ කලිනුත් ඔබට කිව්වා. ඒත් ඔබ කවුරුත් අසාගෙන සිටියේ නැහැ. මට ආයෙත් ඒ දේ කියන්න කියා පවසන්නේ ඇයි? ඔබටත් ඕනේ ඔහුගේ ගෝලයන් වෙන්නද” කියා ඇසුවේය. 28  එය ඇසූ ඔවුහු ඔහුට නින්දා කරමින් මෙසේ කීවෝය. “ඔබ නම් ඒ මිනිසාගේ ගෝලයෙක්. නමුත් අපි මෝසෙස්ගේ ගෝලයෝ. 29  දෙවි මෝසෙස්ට කතා කළා කියා අපි දන්නවා.+ නමුත් මේ මිනිසා ගැනවත් ඔහු කොතැනින් ආවාද කියාවත් අපි කිසිම දෙයක් දන්නේ නැහැ.”+ 30  එවිට ඒ මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ පවසන මේ දේවල් ගැන හිතද්දී මට පුදුම හිතෙනවා.+ ඔහු මට පෙනීම ලබා දුන්නා. ඒ නිසා ඔහු ආවේ කොහෙන්ද කියා ඔබ දන්නේ නැහැ කියා පවසන්නේ කොහොමද? 31  දෙවි පව්කාරයන්ට සවන් නොදෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.+ දෙවි සවන් දෙන්නේ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ කැමැත්ත කරන අයටයි.+ 32  උපතින් අන්ධ කෙනෙකුට කවුරු හරි කෙනෙක් පෙනීම ලබා දුන්නා කියා අපි කවදාවත් අහලා නැහැ. 33  ඉතින් මේ මිනිසා දෙවිගෙන් පැමිණියේ නැත්නම්+ ඔහුට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කොහොමද?” 34  ඔවුහු, “ඔබ ඉපදුණේම මහ පව්කාරයෙක් හැටියටයි.+ දැන් අපිටත් උගන්වන්න හදනවාද” කියා පවසමින් ඔහුව සිනගෝගයෙන් නෙරපා දැමූහ!+ 35  යුදෙව් ආගමික නායකයන් ඔහුව නෙරපා දැමූ බව යේසුස්ට ආරංචි විය. යේසුස්ට ඔහුව මුණගැසුණු විට, “ඔබට මනුෂ්‍ය පුත්‍රයා+ ගැන විශ්වාසයක් තිබෙනවාද” කියා ඔහුගෙන් ඇසුවේය. 36  ඒ මිනිසා, “මහත්මයාණෙනි, මම කැමතියි ඔහු කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු කවුද කියා මට කියන්න” කියා පිළිතුරු දුන්නේය. 37  යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඇත්තෙන්ම ඔබ ඔහුව දැක තිබෙනවා. දැන් ඔබ සමඟ කතා කරන්නෙත් ඒ තැනැත්තායි.”+ 38  එවිට ඒ මිනිසා, “ස්වාමීනි, මට ඔබ කෙරෙහි විශ්වාසයක් තිබෙනවා” කියා පවසමින් යේසුස් ඉදිරියේ දණින් වැටුණේය.+ 39  එවිට යේසුස් මෙසේ කීවේය. “මා මේ ලෝකයට ආවේ පෙනීම නැති අයට පෙනීම ලබා දෙන්න+ හා පෙනීම ඇති අය අන්ධයන් බව පෙන්වන්නයි.+ මම ආවේ එම විනිශ්චයට පදනමක් ලබා දෙන්නයි.”+ 40  ඔහු සමඟ සිටි පරිසිවරුන්ගෙන් සමහරදෙනෙකුට ඒ දේවල් ඇසී, “ඔබ කියන්නේ අපි අන්ධයි කියාද”+ කියා ඔහුගෙන් ඇසූහ. 41  යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ අන්ධ වී සිටියා නම් ඔබ තුළ කිසි පාපයක් නැහැ. නමුත් දැන්, ‘අපට පේනවා’+ කියා ඔබ පවසන නිසා ඔබ තුළ පව්කාරකම+ පවතිනවා.”

පාදසටහන්