Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා

කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා
  • ඉපදුණ අවුරුද්ද: 1960

  • රට: ප්‍රංශය

  • අතීතයේදී: මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ කාන්තාවන්ට ගරු නොකළ දරුණු කෙනෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ ප්‍රංශයේ මුල්හවුස් නගරයේ. ඒක ප්‍රසිද්ධ වෙලා තිබුණේ දරුණු දේවල් වෙන නගරයක් හැටියටයි. මං පොඩි කාලේ නිතරම දැක්කේ මිනිස්සු රණ්ඩු කරගන්නවා. අපේ පවුලේ අය ගෑනු අයව සතේකටවත් මායිම් කෙරුවේ නෑ. මමත් හිතුවේ එයාලා පවුලේ අයව බලාගෙන කුස්සියටම කොටු වෙලා ඉන්න ඕන අය කියලයි.

මගේ තාත්තා බීලා බීලා මැරෙද්දී මට අවුරුදු 10යි. මගේ අයියා කෙනෙකුත් ඊට අවුරුදු 5කට පස්සේ ජීවිතේ නැති කරගත්තා. ඒ අවුරුද්දෙම මිනී මැරුමක් වෙන හැටිත් මං දැක්කා. ඒක මට ගොඩක් බලපෑවා. මගේ පවුලේ අය රණ්ඩුවකදී ආරක්ෂා වෙන්න ආයුධ පාවිච්චි කරන විදිහ කියලා දුන්නා. මනස අවුල් වෙලා හිටිය මං ඇඟ පුරාම පච්ච කොටාගත්තා. බොන්නත් පුරුදු වුණා.

අවුරුදු 16දී මං දවසකට බියර් බෝතල් 10ක් 15ක් විතර බිව්වා. මත්ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා. ඒවාට සල්ලි හොයාගන්න යකඩ කෑලි විකුණුවා. සල්ලි නැත්තං හොරකම් කෙරුවා. අවුරුදු 17 වෙද්දී හිරෙත් ගිහින් තිබුණා. හොරකම, දාමරික වැඩ නිසා 18 වතාවක් දඬුවම් විඳලා තියෙනවා.

වයස 20 ගණන්වල මුල් කාලෙදී මම තවත් නරක දේවල් කළා. දවසකට මරිජුවානා දුම්වැටි 20ක් ගත්තා. හෙරොයින් වගේ මත්ද්‍රව්‍යත් ගත්තා. ඒවා වැඩි වෙලා කීප සැරයක්ම මැරෙන්නත් ගියා. මත්ද්‍රව්‍ය විකුණන්නත් පටන්ගත්ත නිසා මං ළඟ නිතරම ආයුධ තිබුණා. දවසක් මං මිනිහෙක්ට වෙඩි තිබ්බාම එයා බේරුණේ එයාගේ බෙල්ට් එකේ ගාන්චුවට වෙඩි වැදුණ නිසයි. වයස 24දී මගේ අම්මා මැරුණා. මගේ කේන්තිය තව වැඩි වුණා. පාරේ යද්දී අනිත් අය මාව දැක්කාම බයට පාරෙන් එහා පැත්තට පැනලයි ගියේ. සති අන්තවල නිතරම මං හිටියේ පොලීසියේ. නැත්නම් තුවාලවලට මැහුම් දාගන්න ඉස්පිරිතාලේ.

අවුරුදු 28දී මං විවාහ වුණා. මං හැඩගැහුණ විදිහ නිසා මගේ බිරිඳට අපහාස කෙරුවා, ගැහුවා. අපි දෙන්නා කිසිම දෙයක් එකට කෙරුවේ නැහැ. හොරකම් කරපු රත්තරන්වලින් එයාව පෙරෙව්වොත් ඇති කියලයි මං හිතුවේ. ඔය අතරේ මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණා. පාඩම පටන්ගත්ත මුල් දවසෙම එයා දුම්පානය නැවැත්තුවා. මං හොරකම් කරලා ගෙනාපු සල්ලි ගත්තෙත් නැහැ. එයාට දීලා තිබුණ රත්තරන් බඩුත් ආපහු මටම දුන්නා. මට හොඳටම කේන්ති ගියා. එයා බයිබලය ඉගෙනගන්න එකට මං විරුද්ධ වුණා. තරහට එයාගේ මූණට සිගරට් දුම පිම්බා. අසල්වැසියන්ට කියලා එයාව සවුත්තු කෙරුවා.

දවසක් රෑ හොඳටම බීලා සිහි මද ගතියෙන් මම ගෙට ගිනි තිබ්බා. ඒ වෙලාවේ මාවයි පස් හැවිරිදි දුවවයි බේරගත්තේ මගේ බිරිඳ. වෙරි ගතිය හිඳුණාම කරපු දේ ගැන මං හුඟක් දුක් වුණා. දෙවියන් නම් මට සමාව දෙන එකක් නැහැ කියලයි හිතුණේ. දුෂ්ට අය යන්නේ නරකාදියට කියලා පූජකයා කිව්ව දේ මට මතක් වුණා. මට ප්‍රතිකාර කෙරුව මනෝ වෛද්‍යවරයා කිව්වේ “ඔයාව නං හදන්න බෑ” කියලයි.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

ගේ ගිනි ගත්ත නිසා අපි බිරිඳගේ අම්මලාගේ ගෙදර පදිංචියට ගියා. මගේ බිරිඳව හම්බ වෙන්න ආපු සාක්ෂිකරුවන්ගෙන් මං ඇහුවා “මගේ පව්වලට දෙවියන් සමාව දෙයිද” කියලා. එයාලා මට බයිබලේ 1 කොරින්ති 6:9-11 පෙන්නුවා. ඒකේ දෙවියන් හෙළාදකින ක්‍රියා ගැන තිබුණත් “ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ” කියලත් තියෙනවා. ඒක දැක්ක මටත් හිතුණා වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ අය 1 යොහන් 4:8න් දෙවියන් මට ආදරෙයි කියලත් පෙන්නුවා. ඒකෙන් හයියක් ලබපු මම සතියට දෙපාරක් බයිබලය කියලා දෙන්න එන්න කියලා එයාලට කිව්වා. මම එයාලගේ රැස්වීම්වලටත් ගියා. නිතරම යෙහෝවා දෙවියන්ට යාච්ඤාත් කෙරුවා.

මාසයක් ඇතුළත මත්ද්‍රව්‍යය, මත්පැන් ගන්න එක නැවැත්තුවා. ඒ නිසා නිතරම ඔළුවේ කැක්කුම, මස්පිඩු පෙරළෙන එක වගේ වේදනාවල් ඇති වුණා. ඒත් ඒ වෙලාවේ දෙවියන් මාව ශක්තිමත් කරනවා මට දැනුණා. දෙවියන් උපකාර කරපු වෙලාවේ පාවුල්ටත් දැනුණේ ඒ වගේ. ඔහු මෙහෙම ලිව්වා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:13) කල් යද්දී මං දුම්බොන එකත් නැවැත්තුවා.—2 කොරින්ති 7:1.

මාව පාලනය කරගන්නත්, මගේ පවුල් ජීවිතේ හොඳ අතට හරවගන්නත් බයිබලෙන් උදව් ලැබුණා. බිරිඳට ආදරෙන්, ගෞරවයෙන් සලකන්නත් පටන්ගත්තා. ඒ වගේම දුවට මං හොඳ තාත්තා කෙනෙකුත් වුණා. අවුරුද්දකට පස්සේ මමත් මගේ බිරිඳ වගේ යෙහෝවා දෙවියන්ට ජීවිතේ කැප කරලා බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මගේ ජීවිතේ බේරුණේ බයිබල් ප්‍රතිපත්ති නිසයි. මගේ පවුලේ සාක්ෂිකරුවන් නොවන අය කියන්නේ එහෙම නොවුණා නම් මං මෙලහකටත් මැරිලා කියලයි.

සැමියෙක්ගේ, පියෙක්ගේ වගකීම් ගැන තියෙන බයිබල් ඉගැන්වීම් මගේ ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කළා. (එෆීස 5:25; 6:4) මගේ බිරිඳව කුස්සියට කොටු කරනවා වෙනුවට එයා දෙවියන්ට පූර්ණකාලීනව කරන සේවයට මං සහයෝගය දෙනවා. සභාවේ වැඩිමහල්ලෙක් හැටියට මං කරන සේවයට එයාත් සහයෝගය දෙනවා.

මගේ ජීවිතේ වෙනස් වුණේ යෙහෝවා දෙවියන්ගේ ප්‍රේමය හා දයාව නිසයි. මං වගේ, හදන්න බැහැයි කියලා හිතන අයට දෙවියන්ගේ ගුණාංග ගැන කියලා දෙන්න මං හුඟක් ආසයි. ඕනම කෙනෙක්ට උදව් කරන්න බයිබලයට බලය තියෙනවා. අනිත් අයට ප්‍රේම කරන්න විතරක් නෙමෙයි කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්නත් බයිබලෙන් මං ඉගෙනගත්තා.