Skip to content

පටුනට යන්න

එරික් සහ ඒමි

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

ප්‍රචාරකයන් අඩු රටකට ගිහින් සේවය කරන සහෝදරයෙකුව නැත්නම් සහෝදරියකව ඔයා දන්නවද? ‘වෙන රටකට ගිහින් එයාලා සේවය කරන්නේ ඇයි? ඒකට සූදානම් වෙන්න එයාලා මොනවද කළේ? ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න මටත් පුළුවන්ද’ කියලා සමහරවිට ඔයාත් හිතලා ඇති. ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන් හොඳම විදිහ තමයි එහෙම ගිහින් සේවය කරන අයගෙන්ම ඒ ගැන අහන එක. දැන් අපි එයාලත් එක්ක කතා කරලා බලමු.

එයාලා වෙන රටකට ගියේ ඇයි?

ප්‍රචාරකයන් අඩු රටකට ගිහින් සේවය කරන්න ඔයා හිතුවේ ඇයි? වයස 30 ගණන්වල ඉන්න ඒමි හිටියේ ඇමරිකාවේ. එයා මෙහෙම කියනවා. “වෙන රටකට ගිහින් සේවය කරන එක ගැන මං අවුරුදු ගාණක් තිස්සේ හිතුවා. ඒත් ඒක මට ජය ගන්න පුළුවන් ඉලක්කයක් කියලා මං හිතුවේ නෑ.” එයා හිතපු විදිහ වෙනස් වුණේ කොහොමද? “බෙලිස්වල සේවය කරන යුවළක් එයාලත් එක්ක මාසයක් සේවය කරන්න එන්න කියලා මට කිව්වා. ඒ මාසේ මං පුදුම සතුටක් අද්දැක්කා. අවුරුද්දකට පස්සේ මං සේවය කරන්න ඝානාවට ගියා.”

ඒරන් සහ ස්ටෙෆනි

ස්ටෙෆනි ජීවත් වුණෙත් ඇමරිකාවේ. අවුරුදු කීපයකට කලින් තව වැඩි සේවයක් කරන්න පුළුවන්ද කියලා එයා හිතලා බැලුවා. ‘මගේ සෞඛ්‍යයත් හොඳයි. පවුල් වගකීමුත් නැහැ. මං දැන් කරනවට වඩා වැඩි දෙයක් යෙහෝවා දෙවි වෙනුවෙන් මට කරන්න පුළුවන්’ කියලා එතකොට එයාට තේරුණා. ඝානාවට ගිහින් සේවය කරන්න එයා තීරණය කළේ ඊටපස්සෙයි. ඩෙන්මාර්කයේ ජීවත් වුණ ෆිලිප් සහ අයිඩා මැදිවියේ පසු වෙන යුවළක්. එයාලගේ සිහිනේ වුණේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන එකයි. ඒක සැබෑ කරගන්න පුළුවන් කොහොමද කියලා එයාලා හොයලා බැලුවා. “අවස්ථාව උදා වුණාම අපිට හැඟුණේ ‘යන්න, ඔයාලා ආසාවෙන් හිටපු දේ දැන් කරන්න’ කියලා යෙහෝවා දෙවිම අපිට කිව්වා වගේ” කියලා ෆිලිප් කියනවා. 2008දී ඝානාවට ගිය එයාලා අවුරුදු 3කට වැඩි කාලයක් එහේ සේවය කළා.

බෲක් සහ හැන්ස්

හැන්ස් සහ බෲක් ඉන්නේ ඇමරිකාවේ. 2005 කැට්රිනා චණ්ඩ මාරුතයෙන් විපතට පත් වුණ අයට උදව් කරන්න ගියාට පස්සේ ජාත්‍යන්තර ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන්න එයාලා අයදුම් කළා. ඒත් කිසිම උත්තරයක් හම්බ වුණේ නැහැ. “ඔහොම ඉද්දී සමුළුවක තිබුණ දේශනයක කිව්වා දේවමාලිගාව ඉදි කරන්නේ දාවිත් නෙමෙයි කියලා කිව්වම අධෛර්යය වෙනවා වෙනුවට එයාගේ ඉලක්කය එයා වෙනස් කරගත්තා කියලා. අපි කරන්න ඕනෙත් ඒ දේමයි කියලා ඒ දේශනයෙන් අපි තේරුම්ගත්තා” කියලා හැන්ස් කියනවා. (1 ලේක. 17:1-4, 11, 12; 22:5-11) බෲක් මෙහෙම කියනවා. “වෙනත් විදිහකින් වැඩි සේවයක් කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න කියලා දෙවිම අපිට මතක් කරනවා වගෙයි අපිට දැනුණේ.”

වෙනත් රටවලට ගිහින් සේවය කරපු එයාලගේ යාළුවන්ගේ අද්දැකීම් ඇහුවට පස්සේ ඒ විදිහට ගිහින් සේවය කරන්න ඒ දෙන්නටත් ආසා හිතුණා. 2012දී ඝානාවට ගිහින් සංඥා භාෂාව කතා කරන සභාවක මාස 4ක් සේවය කරන්න එයාලට පුළුවන් වුණා. එයාලට ආයෙත් ඇමරිකාවට යන්න සිද්ධ වුණත් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න එයාලට තිබුණු ආසාව ඝානාවේ සේවය කරපු කාලෙදී තවත් වැඩි වුණා. එහෙන් ආවාට පස්සේ එයාලා මයික්‍රෝනීසියාවේ ශාඛා කාර්යාලය ඉදි කිරීමේ වැඩවලට හවුල් වුණා.

ඉලක්කයට ළඟා වෙන්න කළේ මොනවද?

ප්‍රචාරකයන් අඩු රටකට ගිහින් සේවය කරන්න ඔයා සූදානම් වුණේ කොහොමද? “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන එක ගැන ‘මුරටැඹ’ සඟරාවල පළ වුණ ලිපි මං හොයලා ඒවා කියෙව්වා. * වෙන රටකට ගිහින් සේවය කරන එක ගැන මං වැඩිමහල්ලන් එක්ක, චාරිකා සේවක සහ එයාගේ භාර්යාව එක්ක කතා කළා. මගේ ආසාව ගැන මං නිතරම වගේ යෙහෝවා දෙවිට කිව්වා” කියලා ස්ටෙෆනි කියනවා. ඒත් එක්කම එයා අනවශ්‍ය වියදම් කපාහැරලා වෙන රටකට ගිහින් සේවය කරන්න අවශ්‍ය සල්ලි එකතු කරගත්තා.

හැන්ස් මෙහෙම කියනවා. “අපිට ඕනෙ වුණේ යෙහෝවා දෙවි කියන තැනට යන්නයි. ඒ නිසා අපිට මඟ පෙන්නන්න කියලා අපි නිතරම දෙවිට යාච්ඤා කළා. යන්න සැලසුම් කරපු දවස ගැනත් අපේ යාච්ඤාවලදී කිව්වා.” ඒ දෙන්නා ශාඛා කාර්යාල 4කට ලිපි යැව්වා. ඝානාවේ ශාඛා කාර්යාලයෙන් උත්තරයක් ලැබුණම එයාලා තීරණය කළා මාස 2කට එහෙට යන්න. “එහේ සහෝදරයන් එක්ක සේවය කරලා අපි ලබපු සතුට කොච්චරද කියනවා නම් හිතුවට වඩා වැඩි කාලයක් ඉන්න තීරණය කළා” කියලා හැන්ස් කියනවා.

ඒඩ්‍රියා සහ ජෝජ්

ඉලක්ක තියලා ඒවාට ළං වෙන්න පියවර ගද්දී තමයි යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ කියලා කැනඩාවේ ජීවත් වුණ ජෝජ් සහ ඒඩ්‍රියා නිතරම මනසේ තියාගත්තා. ඝානාවේ සේවය කරන සහෝදරියකට කතා කරලා එහේ තොරතුරු එයාගෙන් ඇහුවා. ඒ වගේම සේවය කරන්න එයාලට තිබුණ කැමැත්ත ගැන කැනඩාවේ සහ ඝානාවේ ශාඛා කාර්යාලවලට ලිපිවලින් දැන්නුවා. “ඒත් එක්කම අපේ ජීවිතේ තව සරල කරගන්න පුළුවන් විදි ගැන අපි නිතරම හිතුවා” කියලා ඒඩ්‍රියා කියනවා. 2004දී ඝානාවට යන්න ඒ දෙන්නට පුළුවන් වුණේ ඉලක්කයට ළං වෙන්න එයාලා ගත්ත ඒ වගේ පියවරවල් නිසයි.

අභියෝග ජය ගත්තා

ඒ රටට ගියාම ඔයා මුහුණ දුන්න අභියෝග මොනවද? ඒවා ජය ගත්තේ කොහොමද? ඒමිට තිබුණ අභියෝගය තමයි ගෙදර අය නැති පාළුව. ඝානාවේ ජීවිතේ එයාට හුරුපුරුදු ජීවිතේට වඩා හුඟක් වෙනස්. ඒ අභියෝග ජය ගත්ත විදිහ ගැන ඒමි මෙහෙම කියනවා. “පවුලේ අය මාත් එක්ක කතා කරද්දී නිතරම කියපු දෙයක් තමයි මං කරන සේවය හුඟක් අගය කරනවා කියලා. මෙහෙට ආවේ ඇයි කියලා මනසේ තියාගන්න ඒක මට උදව් වුණා. කාලයක් යද්දී අපි ඉන්ටර්නෙට් එක හරහා කතා කරන්න පටන්ගත්තා. පවුලේ අයව නිතරම දකින්න පුළුවන් වුණ නිසා එයාලා ඉන්නේ මගෙන් හුඟක් ඈත කියලා මට දැනුණේ නැහැ.” ඒත් එක්කම ඒමි එහේ හිටපු සහෝදරියකටත් ළං වුණා. “මෙහේ අය කරපු කියපු සමහර දේවල් මට තේරුම්ගන්න අමාරු වුණ වෙලාවල් තිබුණා. එතකොට මං මගේ යාළුවා එක්ක ඒ ගැන කතා කළා. කරන්න ඕනෙ, නොකරන්න ඕනෙ මොනවද කියන එක තේරුම්ගන්න එයා මට උදව් කළා. ඒකෙන් මට පුළුවන් වුණා මෙහේ සංස්කෘතියට හුරු වෙන්න” කියලා ඒමි කියනවා.

ඝානාවට ගියාම ජෝජ් සහ ඒඩ්‍රියාට දැනුණේ එයාලා අවුරුදු ගාණක් ආපස්සට ගියා වගේ. ඒඩ්‍රියා කියන්නේ මෙහෙමයි. “රෙදි හෝදන්න මැෂින් තිබුණේ නැති නිසා අපි රෙදි හේදුවේ අතින්. පොඩි කෑම වේලක් හදන්න වුණත් පැය ගාණක් ගියා. ඒත් කාලයක් යද්දී අපි ඒවාට හුරු වුණා. ඒවා අපිට අභියෝග නෙමෙයි, ජීවිතේට අලුත් අද්දැකීම් වුණා.” බෲක් මෙහෙම කියනවා. “මොන තරම් අමාරුකම් තිබුණත් අපි ගත කරන්නේ හරිම තෘප්තිමත් ජීවිතයක්. ඝානාවේ සේවය කරපු කාලේ ලබපු හැම අද්දැකීමක්ම අපේ හදේ රැඳිලා තියෙන සොඳුරු මතකයන්.”

ආශීර්වාද පිරුණ සේවයක්

මේ සේවය කරන්න කියලා ඔයා අනිත් අයව දිරිගන්වන්නේ ඇයි? ස්ටෙෆනි මෙහෙම කියනවා. “මෙහේ ඉන්න අය බයිබලේ ගැන දැනගන්න කොච්චර උනන්දුද කියනවා නම් හැමදාම වුණත් බයිබල් පාඩම කරන්න එයාලා කැමතියි. එහෙම ප්‍රදේශයක සේවය කරන්න ලැබුණ එක කොච්චර සතුටක්ද! ප්‍රචාරකයන් අඩු රටකට ඇවිල්ලා සේවය කරන්න මං ගත්ත තීරණය හොඳම තීරණවලින් එකක්.” ස්ටෙෆනි 2014දී ඒරන් එක්ක විවාහ වුණා. දැන් ඒ දෙන්නා ඝානාවේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

ජර්මන් ජාතික ක්‍රිස්ටින් ඝානාවට එන්න කලින් බොලිවියාවෙත් පුරෝගාමි සේවය කළා. එයා මෙහෙම කියනවා. “පවුලේ අය හිටියේ හුඟක් ඈත නිසා මං නිතරම උදව් ඉල්ලුවේ යෙහෝවා දෙවිගෙන්. දැන් යෙහෝවා දෙවි මගේ කිට්ටුම යාළුවා. දෙවිගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කමත් මං හැම දවසකම අද්දකිනවා. මේ සේවය නිසා මගේ ජීවිතේ තවත් අර්ථවත් වෙලා.” මෑතකදී ක්‍රිස්ටින් ගිඩියොන් එක්ක විවාහ වුණා. දෙන්නා දිගටම ඝානාවේ සේවය කරනවා.

ක්‍රිස්ටින් සහ ගිඩියොන්

ෆිලිප් සහ අයිඩා කලින් බයිබල් පාඩම් 15කට වඩා කළා. ඒත් එයාලා තීරණය කළා පාඩම් ගාණ 10කට සීමා කරන්න. හැම ශිෂ්‍යයෙක්ටම හොඳ අවධානයක් දීලා එයාලගේ හදවතට කාවදින විදිහට උගන්නන්නයි එයාලට ඕන වුණේ. ඒක ප්‍රයෝජනවත් වුණාද? ෆිලිප් මෙහෙම කියනවා. “මං මයිකල් කියන තරුණයත් එක්ක පාඩමක් කළා. එයාට ඕන වුණා හැමදාම පාඩම කරන්න. එයා ඒකට හොඳට ලෑස්තිත් වුණා. අපි ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත මාසෙකින් ඉවර කළා. ඊටපස්සේ එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. මයිකල් සේවේ ගිය පළවෙනි දවසේ මගෙන් ඇහුවා ‘මගේ පාඩම්වලට තව හොඳට දේවල් කියලා දෙන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද’ කියලා. මං පුදුමෙන් වගේ එයා දිහා බැලුවම එයා කිව්වා ඒ වෙද්දී එයා පාඩම් 3ක් කරනවා කියලා. ඒවා තව හොඳට කරන්න එයාට උදව් ඕනෙ වෙලයි තිබුණේ.” බයිබලේ පාඩම් කරන අයත් බයිබල් පාඩම් කරනවා. ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව මොන තරම්ද කියලා හිතාගන්න පුළුවන්ද!

අයිඩා සහ ෆිලිප්

උදව් අවශ්‍ය කරන තවත් පැත්තක් ගැන ඒමි මෙහෙම කියනවා. “ඝානාවට ආපු මුල් කාලේ අපි සේවය කරන්න පොඩි ගමකට ගියා. ඒ ගමේ බිහිරි අය ඉන්නවද කියලා ඇහුවම එක් කෙනෙක් නෙමෙයි 8දෙනෙක්ම ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා.” කාලයක් ගියාට පස්සේ ඒමි, එරික් එක්ක විවාහ වෙලා සංඥා භාෂාව කතා කරන සභාවක විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න පටන්ගත්තා. ඝානාවේ ඉන්න බිහිරි ප්‍රචාරකයන්ටත් බයිබලේ ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න බිහිරි අයටත් උදව් කරන්න එයාලා ලොකු වෑයමක් දරනවා. ඝානාවේ සේවය කරපු කාලෙදී මිෂනාරි සේවය රස බලන්න ජෝජ් සහ ඒඩ්‍රියාට පුළුවන් වුණ නිසා 126වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න කියලා ආරාධනාවක් ලැබුණම එයාලට දැනුණේ පුදුම සතුටක්. දැන් එයාලා මොසැම්බික්වල මිෂනාරීන් හැටියට සේවය කරනවා.

සේවය කරන්නේ ආදරේ නිසයි

ඝානාවේ ඉන්න සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා වෙහෙස නොබලා අස්වැන්න නෙළන්න හවුල් වෙන මේ සහෝදර සහෝදරියන්ව මොන තරම් නම් අගය කරන්න ඕනෙද! (යොහ. 4:35) සාමාන්‍යයක් හැටියට හැම සතියකම ඒ රටේ 120දෙනෙක් බව්තීස්ම වෙනවා. වෙනත් රටවලින් ඝානාවට ඇවිත් සේවය කරන 17දෙනා ඇතුළුව ලෝකෙ වෙනත් රටවලට ගිහින් දේශනා කරන දහස් ගාණක් දෙනා ඒ සඳහා “කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා” තියෙන්නේ යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසයි. ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන ඒ අය යෙහෝවා දෙවිගේ හිතට මොන තරම් සතුටක් ගේනවා ඇද්ද!—ගීතා. 110:3; හිතෝ. 27:11.

^ 9 ඡේ. 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-23 පිටු සහ 2009 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 4-7 පිටු බලන්න.