Skip to content

පටුනට යන්න

‘භය වෙන්න එපා, මම ඔයාගේ උදව්වට ඉන්නවා’

‘භය වෙන්න එපා, මම ඔයාගේ උදව්වට ඉන්නවා’

ඔයා රෑ බෝ වුණ වෙලාවක පාළු පාරක ඇවිදගෙන යනවා. එකපාරටම කවුරු හරි ඔයාගේ පස්සෙන් එනවා කියලා ඔයාට දැනෙනවා. ටිකක් නැවතිලා බලද්දී අඩි සද්දෙත් නවතිනවා. අඩිය ඉක්මන් කරලා යද්දී ඒ සද්දෙත් ඒ වේගයෙන්ම ඔයාගේ පස්සෙන් එනවා ඇහෙනවා. දැනෙන බය නිසා ළඟපාත තියෙන යාළුවෙකුගේ ගෙදරට ඔයා දුවගෙන යනවා. ඒ යාළුවා දොර ඇරලා ඔයාව ගේ ඇතුළට ගත්තම ඔයාට කොච්චර සහනයක් දැනෙයිද!

සමහරවිට ඔයා ඒ වගේ සිද්ධියකට මුහුණ දීලා නැතුව ඇති. ඒත් ජීවිතේ අද්දකින සමහර දේවල් නිසා ඔයාට ලොකු බයක්, කනස්සල්ලක් දැනෙන අවස්ථා ඕන තරම් ඇති. උදාහරණෙකට දුර්වලකමක් එක්ක ලොකු සටනක් කළත් ආයේ ආයේ ඔයා අතින් ඒ වරද වෙන නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? කොච්චර රස්සා හෙව්වත් රස්සාවක් හම්බ වුණේ නැති නිසා ඔයා ඉන්නේ කනස්සල්ලෙන්ද? දවසින් දවස වයසට යන නිසා ඉස්සරහට මුහුණ දෙන්න වෙන අසනීප ගැන හිතලා ඔයා දුක් වෙනවද?

ඔයාගේ ප්‍රශ්නේ මොකක් වුණත් හිතේ තියෙන දුක කියන්න, ඔයාට උදව් කරන්න හොඳ යාළුවෙක් ළඟ ඉන්නවා නම් කොච්චර සහනයක් දැනෙයිද! යෙහෝවා දෙවි ඒ වගේ යාළුවෙක්. දෙවි ආබ්‍රහම්ව ඔහුගේ යාළුවා කරගත්තා වගේ ඔයාවත් යාළුවෙක් කරගන්න ආසාවෙන් ඉන්නවා කියලා යෙසායා 41:8-13 කියන දෙයින් පැහැදිලියි. 10 සහ 13 පදවල මෙහෙම කියනවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.”

‘මම ඔබව තදින් අල්ලාගන්නෙමි’

ඒ වචන ඔයාට ශක්තියක් නෙමෙයිද? යෙහෝවා දෙවි ඒ වචනවලින් ලස්සන පින්තූරයක් අඳිනවා. දැන් ඒ පින්තූරේට ඔයාව දාලා එතන දෙවි එක්ක ඉන්නේ ඔයා කියලා හිතන්න. එතන කියන විදිහට ඔයා යෙහෝවා දෙවිගේ අත අල්ලගෙන ගමනක් යනවා නෙමෙයි. මොකද අත් අල්ලගෙන යනවා නම් දෙවි ඔහුගේ දකුණතින් අල්ලගන්නේ ඔයාගේ වම් අත. ඒත් එතන දෙවි කියන්නේ ‘ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔයාගේ දකුණත අල්ලගන්නවා’ කියලයි. ඒක හරියට බය, කනස්සල්ල නිසා වැටිලා ඉන්න ඔයාව දෙවි අත දීලා ගොඩට ඇදලා ගන්නවා වගේ. එහෙම කරද්දී දෙවි ඔයාට මෙහෙම පොරොන්දු වෙනවා. “භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.”

වැටිලා ඉද්දී ළඟට ඇවිත් ඔයාට නැඟිටින්න උදව් කරන තාත්තා කෙනෙක්, යාළුවෙක් විදිහටද යෙහෝවා දෙවිව ඔයා දකින්නේ? දෙවි ඔයා ගැන හුඟක් සැලකිලිමත්. ඔහුට ඕනෙ ඔයාට උදව් කරන්නයි. දෙවිට ඔයාත් එක්ක තියෙන්නේ නොබිඳෙන බැඳීමක් නිසා දුෂ්කරතා අද්දකිද්දී දෙවි ඔයාට කියන්නේ ‘බය වෙන්න එපා, මං ඔයාත් එක්ක ඉන්නවා’ කියලයි. ‘දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු ඉන්නේ සූදානමින්.’—ගීතා. 46:1.

වැරදි ගැන හිතහිත ළත වෙනවද?

සමහරු අතීතයේ කරපු වැරදි ගැන හිතහිත දෙවි ඒවාට සමාව දීලද කියලා ළත වෙනවා. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් යෝබ් ගැන හිතන්න. “තරුණ වියේ පටන්” එයා අතින් වැරදි වුණා කියලා එයාත් පිළිගත්තා. (යෝබ් 13:26) දාවිත්ටත් ඒ හා සමාන හැඟීම් තිබුණා. “තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න” කියලා එයා දෙවිට කිව්වේ ඒ නිසයි. (ගීතා. 25:7) අපිට පාපය උරුම වෙලා තියෙන නිසා “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති” කියන වචන අපි හැමෝටම අදාළයි.—රෝම 3:23.

යෙසායා 41වෙනි පරිච්ඡේදයේ තියෙන වචන මුලින්ම ලිව්වේ අතීතයේ හිටපු දෙවිගේ සෙනඟටයි. එයාලා කොයි තරම් වැරදි කළාද කියනවා නම් වහලුන් විදිහට එයාලව බැබිලෝනියට ගෙනියන්න ඉඩහැරලා එයාලට දඬුවම් කරන්න දෙවි තීරණය කළා. (යෙසා. 39:6, 7) ඒත් ඒ තීරණය ගද්දීත් දෙවි හිතුවේ පසුතැවෙන අයව ඔහු ගලවගන්න කාලය ගැනයි. (යෙසා. 41:8, 9; 49:8) එදා වගේ අදත් දෙවි සතුටු වෙන දේ කරන්න අවංක ආසාවකින් ඉන්න අය වෙනුවෙන් දෙවිගේ හදවතේ දොරගුලු හැම වෙලේම විවෘතයි.—ගීතා. 51:1.

ටකුයා * කාමුක දර්ශන බලන, ස්වයං වින්දනයේ යෙදෙන පුරුද්දෙන් ගොඩ එන්න ලොකු සටනක් කරපු සහෝදරයෙක්. ඒත් නිතරම වගේ ඒ සටනින් එයා පැරදුණා. “මං හිතුවේ මගේ කිසි වටිනාකමක් නැහැ කියලා. ඒත් මං යාච්ඤා කරලා දෙවිගෙන් සමාව ඉල්ලුවම මං වැටිලා හිටපු වළෙන් ගොඩ එන්න දෙවි මට අත දුන්නා” කියලා ටකුයා කියනවා. දෙවි ඒක කළේ කොහොමද? සභාවේ වැඩිමහල්ලන් ටකුයාට කිව්වා වැරදි ආසාවන් හිතට එද්දී එයාලට කෝල් කරන්න කියලා. “ඒක ලේසි වුණේ නැහැ. ඒත් අමාරුවෙන් හරි කෝල් කළාම මට ලොකු ශක්තියක් ලැබුණා.” පස්සේ වැඩිමහල්ලන් සැලසුම් කළා චාරිකා සේවක එක්ක ගිහින් එයාව දිරිගන්වන්න. “මං අහම්බෙන් ඔයාව හම්බ වෙන්න ආවා කියලා හිතන්න එපා. මං ආවේ ඔයාට උදව් කරන්න වැඩිමහල්ලන්ට ඕන වුණ නිසයි” කියලා චාරිකා සේවක ටකුයාට කිව්වා. “මගේ අතින් වැරදි වුණත් වැඩිමහල්ලන්ව පාවිච්චි කරලා දෙවි මට අත දුන්නා” කියලා එයා කියනවා. වැරදි හදාගෙන පස්සේ කාලෙක ස්ථාවර පුරෝගාමි සේවය කරන්නත් එයාට පුළුවන් වුණා. දැන් එයා ශාඛා කාර්යාලයේ සේවය කරනවා. ටකුයාට වගේ ආයෙත් නැඟිටින්න දෙවි ඔයාටත් අත දෙයි.

රස්සාවක් නැති නිසා ඉන්නේ කනස්සල්ලෙන්ද?

සමහරුන්ට හිටිහැටියේ රස්සාව නැති වෙනවා. එතකොට ජීවිතේ ගැටගහගන්න ලේසි නැහැ. දවස ගානේ සම්මුඛ පරීක්ෂණවලට ගියත් එකක්වත් හරි යන්නේ නැති වෙද්දී තමන්ගේ කිසි වටිනාකමක් නැහැ කියලා සමහරුන්ට හිතෙනවා. එහෙම වෙලාවලදී ඔයාට උදව් කරන්න දෙවිට පුළුවන්ද? ඔහු ඉක්මනින්ම ඔයාට ගැළපෙන රස්සාවක් හොයලා දෙන එකක් නැහැ. ඒත් දාවිත් කියපු මේ වචන ගැන විශ්වාසයක් ඇති කරගන්න දෙවි ඔයාට උදව් කරයි. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතා. 37:25) යෙහෝවා දෙවිට ඔයාව හුඟක් වටිනවා. ඔයාගේ අවශ්‍යතා සපුරගන්න දෙවි ‘ධර්මිෂ්ඨකම නමැති ඔහුගේ දකුණතින්’ ඔයාට උදව් කරයි.

රස්සාව නැති වුණොත් දෙවි ඔයාට අත දෙන්නේ කොහොමද?

සාරා ඒක අද්දැක්කා. එයා වැඩ කළේ ප්‍රසිද්ධ ආයතනයක. හොඳ පඩියකුත් ලැබුණා. වැඩිපුර දෙවිට සේවය කරන්න තිබුණ ආසාව නිසා එයා රස්සාවෙන් අස් වෙලා පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒත් සතියට දවස් 2, 3ක් කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න එයාට ලේසි වුණේ නැහැ. අයිස් ක්‍රීම් විකුණන ව්‍යාපාරයක් පොඩියට පටන්ගත්තත් ටික දවසකින් ඒක නවත්තන්න වුණා. “ඔය විදිහට අවුරුදු 3ක්ම ගෙවුණා. ඒත් දෙවි උදව් කරපු නිසා දිගටම මේ ගමන යන්න මට පුළුවන් වුණා” කියලා සාරා කියනවා. කලින් සුඛෝපභෝගී දේවල් එයාට තිබුණත් දැන් අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් වෙන්නත් හෙට ගැන කනස්සලු නොවී ඉන්නත් එයා ඉගෙනගත්තා. (මතෙ. 6:33, 34) එයා කලින් වැඩ කරපු තැන ප්‍රධානියා කෝල් කරලා ඇහුවා ආයෙත් රස්සාවට එන්න කැමතිද කියලා. දවස් කීපයක් විතරක් වැඩ කරන්න අවස්ථාව දෙනවා නම් එන්නම් කියලා සාරා එයාට කිව්වා. කලින් තරම් පඩියක් ලැබෙන්නේ නැතත් එයාට දිගටම පුරෝගාමි සේවය කරන්න පුළුවන් වුණා. “දෙවි මගේ දකුණතින් අල්ලගෙන ඉන්නවා කියලා මට දැනුණා” කියලා සාරා කියනවා.

වයසට යන නිසා ඉන්නේ කනස්සල්ලෙන්ද?

අතේ තියෙන මුදලින් අඩුපාඩුවක් නැතුව ජීවිතේ සැඳෑ සමය ගත කරන්න පුළුවන් වෙයිද කියලා හිතලා විශ්‍රාම යන වයසට ආවම හුඟක් අය කනස්සලු වෙනවා. මහලු වයසේදී එන අසනීප ගැන හිතලත් සමහරු බය වෙනවා. “මා මහලු වූ විට මාව අහක නොදමන්න. මා දුර්වල වූ විට මාගෙන් ඈත්ව නොයන්න” කියලා දාවිත් රජත් දෙවිට කන්නලව් කළා.—ගීතා. 71:9, 18.

එහෙමනම් මහලු වයසේදී වුණත් කනස්සලු නොවී ඉන්න දෙවිගේ සේවකයන්ට පුළුවන් කොහොමද? තමන්ට අවශ්‍ය දේ දිගටම දෙන්න දෙවිට පුළුවන් කියන විශ්වාසයෙන් එයාලා වැඩ කරන්න ඕනේ. සැප පහසු ජීවිතේකට හුරු වෙලා හිටියා නම් ජීවිතේ ටිකක් සරල කරගෙන අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න වෙයි. මිල අධික කෑම බීමවලට වඩා මිලෙන් අඩු එළවළු වගේ දේවල් කෑමට ගන්න එකෙන් මුදල් අරපරෙස්සමින් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ශරීර සෞඛ්‍යයටත් හොඳයි. (හිතෝ. 15:17) ජීවිතේ මුල් තැන දෙවිට දුන්නොත් මහලු වයසේදීත් දෙවි ඔයාව අත්හරින්නේ නැහැ.

හෝසේ සහ රෝස්, ටෝනි සහ වෙන්ඩි එක්ක

අවුරුදු 65කටත් වඩා වැඩි කාලයක් පූර්ණ කාලීනව දෙවිට සේවය කරන හෝසේ සහ රෝස්ගේ අද්දැකීම බලන්න. ඒ කාලේ පුරා එයාලා හුඟක් අභියෝගවලට මුහුණ දුන්නා. අවුරුදු ගාණක්ම අසනීපෙන් හිටපු රෝස්ගේ තාත්තාව බලාගන්න සිද්ධ වුණේ එයාලටයි. හෝසේට පිළිකාවක් තිබුණ නිසා සැත්කමකට මුහුණ දෙන්නත් දිගටම ඒකට ප්‍රතිකාර කරන්නත් වුණා. යෙහෝවා දෙවි තම දකුණතින් මේ මහලු යුවළව අල්ලගත්තද? ඔව්, එයාලගේ සභාවේ හිටපු ටෝනි සහ වෙන්ඩි කියන යුවළ මාර්ගයෙන් දෙවි ඒ දේ කළා. ඒ දෙන්නට පොඩි ඇනෙක්ස් එකක් තිබුණා. එයාලට ඕන වුණේ පූර්ණ කාලීනව සේවය කරන කෙනෙක්ට කුලියක් නැතුව ඒක දෙන්නයි. ටෝනි ඉස්කෝලේ යන කාලේ නිතරම වගේ දැකලා තිබුණා හෝසේ සහ රෝස් නිතිපතා දේශනා සේවයේ යනවා. සේවය වෙනුවෙන් ඒ දෙන්නට තිබුණ උද්‍යෝගය නිසා ටෝනිට එයාලා ගැන ලොකු ආදරයක් තිබුණා. ජීවිතේම දෙවි වෙනුවෙන් දුන්න මේ මහලු යුවළට එයාලගේ ඇනෙක්ස් එක දෙන්න ටෝනියි, වෙන්ඩියි තීරණය කළා. දැන් වයස 80 ගණන්වල ඉන්න මේ යුවළට ඒ දෙන්නා අවුරුදු 15ක් තිස්සේ උදව් කරනවා. ඒ දෙන්නව මහලු යුවළ දකින්නේ යෙහෝවා දෙවිගෙන් ලැබුණ තෑග්ගක් විදිහටයි.

“භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියලා පොරොන්දු වෙන ගමන් යෙහෝවා දෙවි ‘ධර්මිෂ්ඨකම නමැති ඔහුගේ දකුණත’ ඔයාටත් දෙනවා. ඔයා ඔහුගේ අත තදින් අල්ලගන්නවද?

^ 11 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.