Skip to content

පටුනට යන්න

මෙතරම් දුක් කරදර ඇයි?

මෙතරම් දුක් කරදර ඇයි?

අද පවතින දුක් වේදනාවලට හේතුව ලෙස බොහෝ ආගමික නායකයන් දක්වන්නේ “දේවශාපයක්” කියායි. උදාහරණයකට හයිටි රටේ ඇති වූ දරුණු භූමිකම්පාව ගැන එක් පූජකයෙක් පැවසුවේ එය දෙවිගෙන් ලද දඬුවමක් බවයි. ඒ වගේම ආගම් පිළිබඳ එක් විශාරදයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි මේ වගේ විනාශකාරී දේවල් කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ දෙවිව විශ්වාස කරන එක විතරයි.”

ඇත්තටම මිනිසාට දුක් කරදර ගෙනෙන්නේ දෙවිද? නැහැ. දෙවි ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දුෂ්කරතා අද්දකින විට කිසි කෙනෙක්, ‘දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා’ කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) දෙවිගේ අරමුණ වුණේ මිනිසා සතුටින් ජීවත් වීමයි. නමුත් මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා එහි නරක ප්‍රතිඵලවලට අප මුහුණ දෙනවා. එයට දෙවිගේ සේවකයන්ද ඇතුළත්. එවැනි කිහිපදෙනෙකු ගැන අපි සලකා බලමු.

  • අනාගතවක්තෘවරයෙකු වූ එලිෂා මිය යන තරමට අසනීප වුණා.—2 රාජාවලිය 13:14.

  • යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල් පැවසුවේ ඔහුට “කුසට හරි හැටි අහරක් නොමැතිවද පිපාසයෙන්ද ප්‍රමාණවත් ඇඳුම් නොමැතිවද අඩන්තේට්ටම්වලට ලක් වෙමින්ද ඉඳුම්හිටුම් නොමැතිවද සිටීමට” සිදු වූ බවයි.—1 කොරින්ති 4:11.

  • ක්‍රිස්තියානියෙකු වූ එපෆ්‍රොදිතස් එක් අවස්ථාවකදී අසනීපයෙන් හා කලකිරීමෙන් සිටියා.—ෆිලිප්පි 2:25, 26.

දෙවිගේ මේ සේවකයන් දුක් වේදනාවලට මුහුණ දුන්නේ දෙවිගේ දඬුවමක් නිසා නොවන බව බයිබලයේ පෙන්නුම් කරනවා. ඉන් පැහැදිලි වන්නේ අපේ දුක් වේදනාවලට දෙවි හේතුවක් නොවන බවයි. කෙසේවෙතත් දුක් වේදනාවලට හේතු වන ප්‍රධාන කරුණු තුනක් බයිබලයේ සඳහන් වෙනවා.

මිනිසාගේ වැරදි ක්‍රියා

“කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 6:7) උදාහරණයකට කෙනෙක් දුම්පානය කරනවා නම් ඉන් ඇති වන නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔහුට සිදු වෙනවා. ඊට හේතුව ඔහුගේම අඥාන ක්‍රියායි.

ඒ වගේම කෙනෙකුගේ ආත්මාර්ථකාමී ක්‍රියා නිසාත් අන් අය දුක් විඳින අවස්ථා තිබෙනවා. ළමා අපචාර හා නාට්සි පාලන සමයේ සිදු වූ කුරිරුකම් ඊට කදිම උදාහරණයි.

අනපේක්ෂිත සිදුවීම්

පළමුවන සියවසේදී යෙරුසලමේ තිබූ ටැඹක් කඩා වැටීමෙන් 18දෙනෙකු මිය ගියා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙයයි. “ඔවුන්ට ඒ දේ සිදු වුණේ යෙරුසලමේ සිටින අන් සියලුම මිනිසුන්ට වඩා ඔවුන් පව්කාරයන් වූ නිසාද? නැහැ, එහෙම කොහොමටවත් කියන්න බැහැ.” (ලූක් 13:4, 5) යේසුස් එසේ පැවසුවේ දෙවි මිනිසුන්ට දුක් කරදර ගෙනෙන්නේ නැති බව ඔහු දැන සිටි නිසයි. අනික් අතට ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැකි’ බවත් බයිබලයේ පවසනවා. (දේශනාකාරයා 9:11) ඊට අමතරව වාර්තාවලින් පෙනී යන්නේ ආපදාවලට ඔරොත්තු දිය හැකි ආකාරයේ ගොඩනැඟිලි ඉදි නොකිරීම නිසාත් මිනිසුන් බොහෝ දුක් විඳින බවයි. ඒ අනුව දුක් වේදනාවලට එක් හේතුවක් වන්නේ අනපේක්ෂිත දේවලට ගොදුරු වීමයි.

“මේ ලෝකයේ පාලකයා”

බයිබලයේ පවසන්නේ “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන” බවයි. (යොහන් 12:31; 1 යොහන් 5:19) එම දුෂ්ටයා වන්නේ දෙවිගේ සතුරා වන සාතන් නමැති යක්ෂයායි. ඔහු අපට පෙනෙන්නේ නැහැ. නමුත් අද මුළු මිනිස් සමාජයම හසු වී සිටින්නේ ඔහුගේ බලපෑමටයි. (එෆීස 2:2) ඒ නිසා කුරිරු මිනි මැරුම් හා ළමා අපචාර වැනි අමානුෂික ක්‍රියා පිටුපස යම් දුෂ්ට බලවේගයක් සිටින බව පෙනී යනවා. ඔහු ඉතාමත් බලවත් කෙනෙක් බව ඉන් පැහැදිලියි.

ඉන් අදහස් කරන්නේ අපි විඳින දුක් වේදනා දෙවි ගණන්ගන්නේ නැහැ කියාද? මේ තත්වය වෙනස් කිරීමට ඔහු පියවර ගනියිද?