Skip to content

පටුනට යන්න

ඉවසීමට නම් . . .

ඉවසීමට නම් . . .

ඉවසීම නැත්නම් මොනතරම් හානියක් වෙනවද කියලා අපි කලින් ලිපියෙන් දැනගත්තා. ඉවසීම තියෙනවා නම් ලෙඩ අඩු කරගන්න, දුර දිග බලලා තීරණගන්න වගේම හොඳ මිත්‍රකම් පවත්වගන්න පුළුවන් කියලත් සාකච්ඡා කළා. ඒත් ප්‍රශ්නේ ඉවසීම නැති එකයි. ඉවසිලිවන්ත වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ?

හේතුව දැනගන්න

ඔයාගේ ඉවසීම නැති වෙන්නේ මොන වගේ දේවල් හා තත්වයන් නිසාද කියලා හොයලා බලන්න. සැමියා, බිරිඳ,දෙමාපියන් හෝ දරුවන් නිසාද? නැත්නම් කවුරු හරි එනකම් බලාගෙන ඉන්න සිදු වෙන නිසාද, ඔයාගෙම ප්‍රමාදය නිසාද? එහෙමත් නැත්නම් ඔයාට බඩගින්නක්, නිදිමතක් හෝ පීඩනයක් දැනෙන නිසාද? ඔයාට වැඩියෙන්ම ඉවසීම නැති වෙන්නේ රැකියා ස්ථානයේදීද ගෙදරදීද?

ඔයාගේ ඉවසීම නැති වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා දැනගත්තොත් ඒවා මඟ හරවාගන්න පුළුවන්. බයිබලයේ මේ වගේ උපදෙසක් දීලා තියෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.” (හිතෝපදේශ 22:3) ඔයාගේ ඉවසීම නැති වෙන්නේ යම් පුද්ගලයන් හරි තත්වයන් හරි නිසා නම් ඒවා මඟ හරින්න. මුලදී ඉවසිලිවන්ත වෙන්න වෑයමක් දරන්න අවශ්‍ය වුණත් කාලයක් යනකොට ඔයාටත් නොදැනීම ඔයා ඉවසිලිවන්ත කෙනෙක් වෙයි.

ජීවිතය සරල කරගන්න

ඇමරිකාවේ ශාන්ත ජෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන නොරෙන් හර්ට්ස්ෆෙල්ඩ් මෙහෙම කියනවා. “මිනිසුන්ට එකවර වැඩ කිහිපයක් කරන්න තරම් හැකියාවක් නැහැ. ඒකට හේතුව අපේ මොළයට එකම අවස්ථාවේ වැඩ කිහිපයකට අවධානය දෙන්න බැරි නිසයි. කාලයක් තිස්සේ අපි ඒ විදිහට වැඩ කළොත් වැඩවලට අවධානය දීමේ හැකියාව වගේම මනස එක තැනකට යොමු කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉවසීමේ, දරාගැනීමේ, හොඳ තීරණ ගැනීමේ හා ප්‍රශ්න විසඳීමේ හැකියාවත් ටිකෙන් ටික නැතිවෙනවා.”

වැඩ වැඩි නම්, ගමන් බිමන් වැඩි නම් ඔයාට හුඟදෙනෙක් ගැන හොයලා බලන්න තියෙනවා නම් ඔයාට දැනෙන පීඩනය වැඩියි. ඒ වගේ තත්වයකදී ඕන කෙනෙකුගේ ඉවසීම නැති වෙනවා. කලින් සඳහන් කළ ජෙනිෆර් හාට්ස්ටයින් නම් වෛද්‍යවරිය පවසන්නේ “ඉවසීම නැති වෙන්න මූලිකම හේතුව පීඩනය” කියලයි.

වැඩවලින් ටිකක් අයින් වෙලා ඔයාට සතුටක් ගෙන දෙන දේවල් කරන්න. අන්තර්ජාලය හරහා දැන හැඳුනුම්කමක් නැති මිතුරන් රාශියක් ඇසුරු කරනවාට වඩා කිට්ටු මිතුරන් කිහිපදෙනෙකුව ඇසුරු කරන්න. කාලය නාස්ති නොකර ජීවිතයේ වඩාත් වැදගත් දේවල් මොනවාද කියා සොයා බලා ඒවාට කාලය දෙන්න.

ජීවිතය සරල කරගන්න නම් ඔයා දවස ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඔයාගේ කාලය නාස්ති වෙනවාද කියලා හොයලා බලන්න. බයිබලයේ මේ වගේ උපදෙසක් දී තිබෙනවා. ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. යමක් සුරැකිව තබාගැනීමට කාලයක්ද ඉවත දැමීමට කාලයක්ද ඇත.’ (දේශනාකාරයා 3:1, 6) ඔයාගේ කාලය කා දමන සමහර දේවල් අයින් කරන්න හොඳම කාලය දැන් වෙන්න ඇති. එහෙම කරනවා නම් ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න පුළුවන් වෙයි.

යථාර්ථවාදීව හිතන්න

අපි බලාපොරොත්තු වෙන දේවල් හිතන තරම් ඉක්මනට වෙන්නේ නැහැ කියලා මුලින්ම මතක තියාගන්න. බලාපොරොත්තු වුණ දේ ඉටු වෙන කල් බලාගෙන ඉන්න පුළුවන් නම් ඔයා ඉවසිලිවන්ත කෙනෙක් කියලා කියන්න පුළුවන්.

ඊළඟ කාරණය තමයි ඔයා ජීවිතයේ මුහුණ දෙන තත්වයන් හැමවෙලේම වෙනස් කරන්න ඔයාට බැහැ කියන එක. බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි. බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි. මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක. මිනිසා තමා මිය යන්නේ කවදාද කියා නොදනී.”—දේශනාකාරයා 9:11, 12.

පාලනය කරගන්න බැරි දේවල් ගැන ළත වෙනවාට වඩා ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන කල්පනා කර බලන්න. උදාහරණයකට ඔයා ගමනක් යන්න බලං ඉද්දී බස් එක හරි දුම්රිය හරි පරක්කු වෙනවා නම් ඔයාට ඒ ගමන යන්න පුළුවන් වෙනත් විදිහක් ගැන හිතන්න. කෝපයෙන් පුපුර පුපුර ඉන්නවාට වඩා ඇවිදගෙන යන එක සමහරවිට ඇඟට ගුණයි. ඒත් අනිවාර්යෙන්ම බලං ඉන්න වෙනවා නම් පොතක් කියවන්න හෝ කරන්න තියෙන දේවල් ගැන ලැයිස්තුවක් වගේ දෙයක් සටහන් කරන්න ඔයාට පුළුවන්.

ජීවිතයේ වෙනස් කරන්න බැරි දේවල් ගැන ළත වීමෙන් පලක් නැහැ. “කනස්සලු වීමෙන් තම ආයු කාලය සුළු මොහොතකින්වත් වැඩි කරගන්න ඔබ අතරේ සිටින කාටවත් පුළුවන්ද” කියා යේසුස් කිව්වා.—ලූක් 12:25.

දෙවියන්ට සමීප වෙන්න

තමන්ට ඉවසිලිවන්ත අය වෙන්න පුළුවන් වුණේ බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගැනීම නිසා කියලා හුඟදෙනෙක් අද්දැකලා තියෙනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන කෙනෙකුට ඉවසීම විතරක් නෙවෙයි ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මෘදුකම මෙන්ම තමාව පාලනය කරගැනීමේ හැකියාවත් තියෙනවා. (ගලාති 5:22, 23) බයිබලයේ මෙහෙම පොරොන්දුවක් දීලා තියෙනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන.” (ෆිලිප්පි 4:6, 7) බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් කනස්සල්ල අඩු කරගෙන ඉවසීමෙන් සැනසීම ලැබෙයි යන කියමනේ සත්‍යයතාව අද්දකින්න ඔයාට පුළුවන් වෙයි.