Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

“කාමුක යන අදහස තියෙන ඉංග්‍රීසි වචනය අන්තර්ජාලයේ ටයිප් කර විවිධ තොරතුරු හොයන එක 2004 ඉඳලා තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා.”—THE ECONOMIST, BRITAIN.

“රුසියාවේ අලුත විවාහ වෙන තරුණියන් 100දෙනෙක්ගෙන් 60දෙනෙක් පමණ සැමියාගෙන් ගුටි කන්න හෝ දෙදෙනාම රණ්ඩු කරගන්න ඉඩ තියෙනවා.”—MOSKOVSKIYE NOVOSTI, RUSSIA.

“එක්සත් රාජධානියේ ඉන්න සෑම විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් හත්දෙනෙක්ගෙන් එක් කෙනෙක්ම කියන්නේ තමන් එක්ක වැඩ කරන අය ඔවුන්ගේ පර්යේෂණ කටයුතුවලදීත් පොත්පත් එළිදක්වද්දීත් හිතුමනාපෙට සත්‍ය තොරතුරු වෙනස් කරනවා කියලයි. එහෙම නැත්නම් තමන්ට ඕන ඕන විදිහට කතන්දර ගොතනවා කියලයි.”—BRITISH MEDICAL JOURNAL, BRITAIN.

“වර්ෂ 1971දී ඇමරිකාවේ පිළිකාවෙන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාවට වඩා හතර ගුණයක් දැන් සුවය ලබනවා. එය ගණනින් මිලියන 12ක් පමණ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව පිළිකාව මුල් අවදියේදීම හඳුනාගැනීම, සාර්ථක ප්‍රතිකාර ක්‍රම හා රෝගියාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම පෙරට වඩා දියුණු වීමයි.”—UC BERKELEY WELLNESS LETTER, U.S.A.

වර්ෂ 2011 නත්තල් දිනේට කලින් දවසක බෙත්ලෙහෙමේ යේසුස් ඉපදුණා කියා සිතන තැන සාදා ඇති පල්ලියට සම්බන්ධ ආගමික නිකායන්වල පූජකයන් 100 දෙනෙක් පමණ රණ්ඩුවකට පැටළුණා. ඒ ගැන උසස් පොලිස් නිලධාරියෙක් කිව්වේ මෙහෙමයි. “ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. . . . හැම අවුරුද්දෙම ඕක වෙනවා. එයාලා ඉතිං දෙවියන්ට වැඩ කරන අය හින්දා අපි කාවවත් අත්අඩංගුවට ගත්තේ නැහැ.”—REUTERS NEWS SERVICE, U.S.A.

අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය

අප්‍රිකාව පුරා කාන්තාර ව්‍යාප්ත වීම වළක්වාගැනීමේ අරමුණින් වර්ෂ 2007දී අප්‍රිකානු සංගමය ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ සඳහා ඔවුන් කළේ බටහිර අප්‍රිකාවේ සෙනගාලයේ සිට නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි වෙනකම් තියෙන රටවල් 11ක් හරහා විශාල ප්‍රාකාරයක් හා සමාන ගස් වවන්න තීරණය කිරීමයි. එහි පළල කිලෝමීටර 15ක් හා දිග කිලෝමීටර 7600ක් වෙනවා. ඒ ගැන සෙනගාලයේ ඩකාර් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් කිව්වේ “අපි වවන්න ඕනේ ගස් කපන අයට පලක් නැති ගස් වර්ග” කියලයි. මේ හරිත ප්‍රාකාරය රක්ෂිතයක් විදිහට තියාගන්නත් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් සපයන්නත් උදව් වෙයි කියා හිතනවා.

ඈනුම ගැන දන්න තරම

මව් කුසේ ඉන්න දරුවන් විතරක් නෙමෙයි ඉත්තෑවන්, පැස්බරුන්, සර්පයින් හා මාළුන් පවා ඈනුම් අරිනවා. ඈනුම් අරින එක ගැන විවිධ මත තියෙනවා. හැබැයි හුඟක් විද්‍යාඥයන් හිතන විදිහට ඈනුමකින් වෙන්නේ මොළයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීමයි. ඒත් එක සඟරාවක සඳහන් වුණේ “ඒක තහවුරු කරන්න පර්යේෂකයන්ට තවම සාක්ෂි නැහැ” කියලයි. මීයන්ව පාවිච්චි කරලා කරපු අධ්‍යයනයකින් පසු පර්යේෂකයන් කිව්වේ “මොලේ රත් වෙන කොට ඒක සිසිල් කරන්න ඈනුම උෂ්ණත්ව පාලකයක් විදිහට ක්‍රියා කරනවා” වෙන්නත් පුළුවන් කියලයි. හැබැයි ඉතිං කාටවත් තවම ඈනුම ගැන හරි දැනුමක් නෑ.