Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | සෙලීන් ග්රැනොලරස්

වකුගඩු රෝග විශේෂඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

වකුගඩු රෝග විශේෂඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

සෙලීන් ග්රැනොලරස් ප්‍රංශයේ වකුගඩුරෝග සම්බන්ධයෙන් විශේෂඥවරියක් ලෙස සේවය කරනවා. වෛද්‍යවරියක් වෙලා අවුරුදු 20ක් ගියාට පස්සෙයි ඇයට තේරුණේ මිනිසුන් ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඇගේ රැකියාව ගැනත් විශ්වාසය ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.

ඔයාගේ පුංචි කාලේ ගැන අපිට ටිකක් කියන්න පුළුවන්ද?

අපි ස්පාඤ්ඤයේ ඉඳලා ප්‍රංශයට එන කොට මට අවුරුදු නමයයි. අම්මයි තාත්තයි කතෝලික. මට අවුරුදු 16දී දෙවියන් ගැන තිබුණු විශ්වාසය නැති වුණා. දෙවි කෙනෙක් නැත්නම් ජීවය ඇති වුණේ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් මං කියනවා “දැනට විද්‍යාඥයන්ට පැහැදිලි කරන්න බැහැ. ඒත් දවසක ඒකටත් උත්තරේ හම්බෙයි” කියලා.

වකුගඩු රෝග ගැන ඉගෙනගන්න හිතුවෙ ඇයි?

මං ඉගෙනගත්ත ප්‍රංශයේ මොන්පෙල්ය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් මාව උනන්දු කළා වකුගඩු රෝග සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙනගන්න. ඒ විෂය හදාරද්දී රෝගීන්ව සම්බන්ධ කරගෙන පර්යේෂණ කරන්නත් තිබුණා. මමත් හරිම ආසාවෙන් හිටියේ ඒ වගේ දේකට. එරිත්‍රොපොයටින් (EPO) ශරීරගත කිරීම ගැන මම 1990දී පර්යේෂණ වගයක් කරන්න පටන්ගත්තා. EPO කියන්නේ රතු රුධිරාණු නිපදවීමට උදව් වෙන හෝමෝනයක්. ඒ කාලෙ තමයි මේ විෂය ගැන අලුතෙන්ම පර්යේෂණ කරන්න පටන්ගත්තේ.

දෙවි කෙනෙක් ගැන හිතන්න පටන්ගත්තේ ඇයි?

මගේ මහත්තයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න ගත්තෙ 1979. මට නම් කිසි උනන්දුවක් තිබුන්නෑ. පුංචි කාලේ ඉඳලම මට ආගම් අරහං. ඒත් මහත්තයයි දරුවොයි සාක්ෂිකරුවන් වුණා. අපිට හිටිය ගොඩක් යාළුවොත් සාක්ෂිකරුවන්. ඒ අයගෙන් කෙනෙක් තමයි පැට්‍රීෂියා. එයා දවසක් කිව්වා නිකං යාච්ඤා කරලා බලන්න කියලා. “ස්වර්ගේ කවුරුත් නැත්නම් කමක් නෑනෙ. කවුරු හරි හිටියොත් මොකද වෙන්නේ කියලා ඔයාට තේරෙයි” කියලත් එයා කිව්වා. ඔහොම කාලයක් යද්දී ජීවිතේ අරමුණ මොකක්ද කියලා මං හිතන්න ගත්තා. එතකොට මට මතක් වුණා පැට්‍රීෂියා කිව්ව දේ. ජීවිතේ අරමුණ තේරුම්ගන්න උදව් කරන්න කියලා මං යාච්ඤා කෙරුවා.

ජීවිතේ අරමුණ ගැන හොයන්න පටන්ගත්තේ ඇයි?

ත්‍රස්තවාදීන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගැහුව වෙලාවේ මට හිතුණා මේ සමාජය කොච්චර දුෂ්ටද කියලා. එදා මං මෙහෙම හිතුවා. ‘ආගමික අන්තවාදීන් ඉන්න කල් අපේ අනාගතය අඳුරුයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම සාමකාමීයි, අන්තවාදී නෑ. ඒ එයාලා බයිබල් ප්‍රතිපත්ති පිළිපදින හින්දා. මාත් බලන්න ඕනෙ බයිබලේ මොනවද තියෙන්නේ කියලා.’ පස්සේ මාත් බයිබලේ කියවන්න පටන්ගත්තා.

වෛද්‍යවරයෙක් විදිහට නිර්මාතෘවරයෙක් ගැන විශ්වාස කරන්න අමාරු වුණේ නැද්ද?

නැහැ. ඇත්තටම ශරීරය හදලා තියෙන විදිහ දැක්කම මට ඒ ගැන පුදුම පැහැදීමක් ඇති වුණා. උදාහරණෙකට අපේ වකුගඩු, ශරීරයේ රතු රුධිරාණු මට්ටම පාලනය කරන විදිහ හරිම පුදුමයි! ඒ ගැන විස්තර කරන්න මට වචන නෑ.

ඇයි ඔයා එහෙම කියන්නේ?

මට තේරුණා ඒ වගේ විස්මිත දෙයක් නිර්මාණය කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා

ශරීරය පුරා ඔක්සිජන් ගෙනියන්නේ රතු රුධිරාණු. ඇඟේ ලේ හොඳටම අඩු වුණාම එහෙම නැත්නම් අපි උස තැනකට ගියාම ශරීරයේ ඔක්සිජන් මට්ටම පහළ බහිනවා. ඔක්සිජන් මට්ටමේ සිදු වෙන වෙනස් වීම් දැනගැනීමේ විශේෂ හැකියාවක් වකුගඩුවලට තියෙනවා. ඉතිං ඔක්සිජන් අඩු වෙලා කියලා දැනගත්ත ගමන් වකුගඩු EPO නිපදවනවා. රුධිරයේ EPO මට්ටම දහස් ගුණයකින් වුණත් වැඩි කරන්න වකුගඩුවලට පුළුවන්. EPO රතු රුධිරාණු නිපදවන්න ඇටමිදුලුවලට උදව් කරනවා. නිපදවෙන රතු රුධිරාණු ශරීරය පුරාම ඔක්සිජන් ප්‍රවාහනය කරනවා. මේ පුදුමාකාර ක්‍රියාවලිය අධ්‍යයනය කරලා අවුරුදු දහයක් ගියාට පස්සේ මට තේරුණා ඒ වගේ විස්මිත දෙයක් නිර්මාණය කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා.

බයිබලේ ගැන ඔයා මොකක්ද හිතන්නේ?

මම ඉතිහාස පොත්, ප්‍රසිද්ධ නවකතා ගොඩක් කියවලා තියෙනවා. ඒත් බයිබලය ඒ ඔක්කොටම වඩා වෙනස් කියලා මට ටක් ගාලා තේරුණා. ඒකෙ උපදෙස් ප්‍රායෝගිකයි. ඒවා මිනිස්සුන්ගේ අදහස් නම් වෙන්න බෑ. යේසුස්ගේ චරිතයත් මගේ හිතට කාවැදුණා. ඔහු මනඃකල්පිත කෙනෙක් නෙමෙයි. ඔහුට හැඟීම් තිබුණා. යාළුවෝ හිටියා. මට තව තොරතුරු හොයාගන්න ඕනෙ වුණා. හැබැයි සාක්ෂිකාරයන්ගේ පොත් පත් පාවිච්චි කරන්න මං කැමති වුණේ නැති හින්දා උත්තර හොයාගත්තේ විශ්වකෝෂ වගේ පොත් පත් කියවලා.

මොනා ගැනද ඔයා හොයලා බැලුවෙ?

ඉතිහාස පොත්වලින් පර්යේෂණ කරලා බැලුවා. බයිබලේ අනාවැකි තිතටම ඉටු වෙලා තියෙනවා කියලා මට පැහැදිලි වුණා

ගොඩක් දේවල්. විශේෂයෙන්ම මගේ හිතට කාවැදුණේ යේසුස් බව්තීස්ම වෙන අවුරුද්ද ගැන බයිබලේ කියලා තියෙන දේ. පර්සියාවේ අර්තක්ෂස්තා රජු පාලනය පටන් අරන් අවුරුදු විස්සක් ගිය දා ඉඳලා මෙසියස් එන තුරු අවුරුදු කීයක් තියෙනවාද කියලා බයිබලේ කියලා තියෙනවා. * මම පර්යේෂණ කරන්න කොහොමත් ආසයිනෙ. ඉතිං මං මොකද කළේ අර්තක්ෂස්තා පාලනය කරපු කාලයත් යේසුස් දේවසේවය කරපු කාලයත් ඉතිහාස පොත්වලින් පර්යේෂණ කරලා බැලුවා. බයිබලේ අනාවැකි තිතටම ඉටු වෙලා තියෙනවා කියලා මට පැහැදිලි වුණා. ඒ වගේම ඒ අනාවැකි දුන්නේ දෙවියන් කියලත් මට හොඳටම පැහැදිලි වුණා.

^ 19 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 198 සහ199 පිටු බලන්න.