Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

වියදම් පාලනය කරන්න අමාරුද?

වියදම් පාලනය කරන්න අමාරුද?

ප්‍රශ්නය

අතට ලැබුණු සල්ලි ටික කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ! මාසේ අන්තිමට ඔබටත් දැනෙන්නේ එහෙමද? බැඳලත් වැඩි කාලයක් නැති නිසා වියදම් පාලනය කරන්නේ කොහොමද කියලා ඔබට තේරුමක් නැතුව ඇති. ඒ වගේ වෙලාවට එක් කෙනෙක්ගේ පිට වරද පටවන්නේ නැතුව දෙන්නටම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලමු. *

ඇයි එහෙම වෙන්නේ?

අද්දැකීම් නැතිකම. බඳින්න කලින් හිටියේ දෙමව්පියන් එක්ක නම් බිල් ගෙවන එක, වියදම් බෙදාගන්න එක වගේ දේවල් ගැන ඔබට අද්දැකීම් නැතුව ඇති. වියදම් කිරීම ගැන දෙන්නගේ අදහස් වෙනස් වෙන්නත් පුළුවන්. සමහරවිට ඔබ කැමති අත දිගහැරලා වියදම් කරන්න. ඒත් සැමියා හෝ බිරිඳ කැමති ඉතුරු කරන්න. ඒ නිසා සල්ලි වියදම් කරන විදිහ ගැන එකඟතාවකට එන්න ටිකක් කල් යයි.

ණයත් හරියට වත්තේ වැවෙන වල්පැල වගේ. ගණන් නොගෙන හිටියොත් දන්නෙම නැතුව වැඩි වෙනවා

කල් දැමීමේ පුරුද්ද. ජිම් දැන් සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණත් බැඳපු අලුත වියදම් කරන්න ඕන විදිහ ගැන දැනගෙන හිටියේ නැති නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “වෙලාවට බිල් ගෙව්වේ නැති නිසා අපිට බර ගාණක් පොලී ගෙවන්න වුණා. අන්තිමට හොඳටම හිර වුණා.”

ඇඟට නොදැනී වියදම් වීම. පර්ස් එකෙන් සල්ලි දෙද්දී ඔබ දන්නවා තව කීයක් අතේ තියෙනවාද කියලා. ඒත් කාඩ් එකෙන් ගෙවද්දී වියදම් වෙන තරම දැනෙන්නේ නැහැ. ඒ වගේම පහසු ණය ගැනීමේ ක්‍රම සහ අන්තර්ජාලයෙන් බඩු මිල දී ගැනීම වගේ දේවල් නිසාත් අලුත බැඳපු අයට වියදම් දරාගන්න බැරි වෙලා තියෙනවා.

වියදම් වැඩි වීම විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන්න හේතුවක්. ඒ ගැන පොතක මෙහෙම සඳහන් වුණා. “කොච්චර මුදල් තිබුණත් බොහෝ යුවළයන්ට තියෙන ප්‍රශ්නවලින් මුල් තැන ගන්නේ මුදල් නිසා ඇති වන ප්‍රශ්න. රණ්ඩු දබරවලට ප්‍රධාන හේතුවත් ඒකයි.”Fighting for Your Marriage.

මොනවද කරන්න පුළුවන්?

එකමුතුව වැඩ කරන්න. අනිත් කෙනාගේ පිට වරද පටවන්න එපා. එකතු වෙලා වියදම් පාලනය කරන්න. ඒ ගැන කතා කරද්දී රණ්ඩුවකට මුලපුරන්නේ නැහැ කියලා කලින්ම තීරණය කරගන්න.එෆීස 4:32 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අය වැයක් හදන්න. මාසය තුළ කළ ලොකු කුඩා හැම වියදමක්ම ලියන්න. එතකොට වියදම් වුණේ මොනවටද, අනවශ්‍ය වියදම් කළාද කියලා දැනගන්න පුළුවන්. කලින් සඳහන් කළ ජිම් මෙහෙම කියනවා. “පුළුවන් තරම් අනවශ්‍ය වියදම් අඩු කරගන්න.”

ආහාර, ඇඳුම්, ගෙවල් කුලී, මාසික ගෙවීම් වගේ අත්‍යවශ්‍ය වියදම්වල ලැයිස්තුවක් හදන්න. ඒ ඉදිරියෙන් ඒ සඳහා යන මුදලත් ලියන්න. දැන් මාසෙට කොයි තරම් මුදලක් වැය වෙයිද කියලා ගණන් බලන්න.ලූක් 14:28 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.”හිතෝපදේශ 22:7

ඔබට ලැබෙන මුදල් ආහාර, ගෙවල් කුලී, ඇඳුම් වගේ අත්‍යවශ්‍ය වියදම් සඳහා වෙන් කරන්න. සමහරු වෙන් කළ ඒ මුදල් වෙන වෙනම ලියුම් කවරවලට දානවා. * එක් ලියුම් කවරයක දමා තිබෙන මුදල් ඉවර වුණා නම් ඒ සඳහා තවත් වියදම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන ලියුම් කවරයක තියෙන මුදලින් කොටසක් ඒකට ගන්නවා.

දෙවරක් හිතන්න. සතුට ලැබෙන්නේ අලුත්ම දේවල් මිල දී ගැනීමෙන් නෙමෙයි. යේසුස් කිව්වේ ‘කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ජීවිතය රැකගන්න ඔහුට බැහැ’ කියලයි. (ලූක් 12:15) මුදල් වියදම් කරන විදිහෙන් ඒ වචන ඔබ විශ්වාස කරනවාද නැද්ද කියලා දැනගන්න පුළුවන්.1 තිමෝති 6:8 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හිතන විදිහ වෙනස් කරගන්න. එරන් විවාහ වෙලා අවුරුදු 2යි. ඔහු මෙහෙම කියනවා. “කේබල් ටීවී ගන්න එක, කෑමකට රෙස්ටොරන්ට් එකකට යන එක ලොකු වියදමක් කියලා මුලදි හිතෙන්නේ නැහැ. ඒත් ටික දවසක් යනකොට තමයි වියදම් වැඩියි කියලා තේරෙන්නේ. ඒ නිසා වියදම් අඩු කරගන්න අපිට සමහර දේවල් නොකර ඉන්න වුණා.”

^ 4 ඡේ. මේ යෝජනා අලුත විවාහ වූ යුවළකට යොමු දැක්වූවත් සියලුම විවාහක අයට එයින් ප්‍රයෝජන ලබන්න පුළුවන්.

^ 14 ඡේ. ඔබ මුදල් ගෙවන්නේ කාඩ්වලින් නම් ගෙවන්න තියෙන ගණන කොලයක ලියලා ලියුම් කවරවලට දාන්න.