Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අභියෝග ජීවිතයට බාධාවක්ද?

අභියෝගය: කරගන්න බැරි තරම් වැඩ

අභියෝගය: කරගන්න බැරි තරම් වැඩ

ළමයින්ගේ වැඩත් තියෙනවා. ගෙදර ගැන බලන්නත් ඕනේ. රස්සාව කරන තැනත් වැඩ ගොඩ ගැහිලා. ඒ විතරක් නෙමෙයි ලෙඩින් ඉන්න අම්මයි තාත්තයි බලාගන්නත් ඕනේ. දහසකුත් එකක් වැඩ රාජකාරි! ඒ වගේ ජීවිතයක් ඔයා බලාපොරොත්තු වුණේ නැතත් දැන් ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙලා. “මං මොනවා කරන්නද? ඒ හැමෝටම මගේ උදව් ඕනේ” කියලා ඔයාට හිතෙයි. ඒත් හැම දේම කරන්න ගියොත් ඔයාට එක දෙයක්වත් හරියට කරගන්න බැරි වෙයි. එහෙම නම් මොනවද කරන්න පුළුවන්?

බයිබලයෙන් ආදර්ශයක්: මෝසෙස්

මෝසෙස් කියන්නේ අතීතයේදී මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනිශ්චයකරුවෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඔහුට ගොඩක් රාජකාරි තියෙනවා කියලා ඔහුගේ මාමණ්ඩි දැක්කා. මෙහෙම දිගටම වැඩ කළොත් මෝසෙස් හෙම්බත් වෙන නිසා වගකීම් දරන්න පුළුවන් පුරුෂයන් තෝරගෙන ඒ අයට වැඩ කොටසක් භාර දෙන්න කියලා මාමණ්ඩි කිව්වා. විසඳන්න අමාරු නඩු විතරක් මෝසෙස්ට විසඳන්න කියලා ඔහු කිව්වා. එතකොට මෝසෙස්ට වැඩ විතරක් නෙමෙයි දැනෙන පීඩනයත් අඩු වෙයි කියලා ඔහු පෙන්නලා දුන්නා.—නික්මයාම 18:17-23.

ඩෙලීනා කරන දේ

මුල් ලිපියේ සඳහන් කළ ඩෙලීනාට මාංස පේශීවල රෝගයක් තියෙනවා. ඇගේ ආබාධිත අයියලා තුන්දෙනාව බලාගන්නෙත් ඇයයි. ඇය මෙහෙම කියනවා. “එදා දවසට කරන්න තියෙන වැඩ මම එදාම කරනවා. වැඩ කල් දාන්නේ නෑ. එතකොට මට දැනෙන පීඩනය අඩුයි. ඒ වගේම මං අනිත් අයට මගේ තත්වය ගැන හංගන්නේ නැතිව කියන නිසා මට උදව් ලැබෙනවා. මහත්තයත් මට උදව් කරනවා. උදේට වත්තේ වැඩ කරන එකත් මට සතුටක්.”

“අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1

ඔයාට කරන්න පුළුවන් දේ

කරගන්න බැරි තරම් වැඩ ගොඩක් ඔයාට තියෙනවා නම් මොනවද කරන්න පුළුවන්?

  • උදව් කරන්න පුළුවන් අය ඉන්නවාද කියලා බලන්න. උදාහරණෙකට උදව් කරන්න පුළුවන් වයසේ දරුවන් ඉන්නවා නම්, පවුලේ අය හරි යාළුවෝ හරි ඔයාගේ ගෙවල් ළඟ ඉන්නවා නම් ඒ අයගෙන් උදව් ගන්න.

  • ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදව්ද කියලා කියන්න. උදාහරණෙකට රැකියාව කරන තැන කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ දෙනවා නම් ප්‍රධානියාත් එක්ක ඒ ගැන කාරුණිකව කතා කරන්න. ඔයාගේ තත්වේ එයාට පැහැදිලි කරන්න. එහෙම කළොත් සමහරවිට ඔහු ඔයාගේ වැඩ ටිකක් අඩු කරන්න පුළුවන්.

  • සතියකට කරන්න තියෙන වැඩ ලියාගන්න. සමහර වැඩ වෙන අයට බාර දෙන්න.

  • කවුරු හරි කෑමකට, උත්සවයකට ආරාධනා කළොත් ඔයාට කාලය නැත්නම්, යන්න අමාරුයි නම් එන්න වෙන්නේ නැහැ කියලා කාරුණිකව කියන්න.

හිතලා බලන්න දෙයක්: ඔයා හැම දේම කරන්න ගියොත් අන්තිමට ඔයාට එක දෙයක්වත් හරියට කරගන්න බැරි වෙයි.