Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

ප්‍රශ්නය

සමහර තරුණ අය ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න කැමති වුණත් ආර්ථික ප්‍රශ්න නිසා ආපහු ගෙදර එන්න වෙනවා. ඔයාටත් ඒ වගේ වෙලා තියෙනවාද?

අම්මටයි තාත්තාටයි කොච්චර ආදරේ වුණත් ආයෙත් ගෙදර එන එක ලේසි නැහැ. සේරා * මෙහෙම කියනවා. “තනියම ජීවත් වෙද්දී කාගෙන්වත් යැපෙන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මට මං ගැනම ලොකු ආඩම්බරයක් දැනුණා. හැබැයි ආයේ ගෙදර ආවාම මට හිතුණේ මං මොකුත් කරගන්න බැරි පොඩි ළමයෙක් වගේ කියලයි.” රිචඩ්ට හැඟුණෙත් ඒ විදිහටමයි. ඔහු කිව්වේ “මට ආපහු ගෙදර යන්න ඕන වුණේ නැහැ. ඒත් සල්ලි තිබුණේ නැති නිසා ගෙදර යන්න වුණා” කියලයි.

ඔයා ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි.

ඇයි එහෙම වෙන්නේ?

සල්ලි ප්‍රශ්න නිසා. තනියම ජීවත් වෙන්න ගියාම තමයි තේරෙන්නේ තමන්ගේ වියහියදම් පිරිමහගන්න එක කොච්චර අමාරුද කියලා. රිචඩ් කිව්වේ “මං ඉතුරු කරලා තිබුණු සල්ලි ටික ඔක්කොම වියදම් වුණා” කියලයි. අවුරුදු 24දී ගෙදරින් ගිහින්, ටික කාලයකින් ආයෙත් ගෙදර ආපු ෂේනා මෙහෙම කියනවා. “මට මීට වඩා අරපිරිමැස්මෙන් සල්ලි පාවිච්චි කරන්න තිබුණා. මං ගෙදර ආවේ ණයකාරයෙක් වෙලා.” *

රැකියා ප්‍රශ්න නිසා. තනියම ජීවත් වෙන්න කොච්චර හොඳට සැලසුම් කළත් රස්සාව නැති වුණාම හැම දේම උඩු යටිකුරු වෙනවා. ෂේනා, එයා අද්දැක්ක දේ ගැන මෙහෙම කිව්වා. “මං විද්‍යා අංශයෙන් උපාධියක් ලබාගත්තා. මට ඒ ක්ෂේත්‍රයේ රස්සාවකුත් හම්බ වුණා. ඒත් හදිස්සියේම රස්සාව නැති වුණාම මට යන එන මං නැති වුණා. මොකද මං වැඩ කරපු ගමේ ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන රස්සා තිබුණේ නැහැ.”

රස්සාව හිතුවාට වඩා වෙනස් නිසා. සමහර අය රස්සාවකට ගියත් ඇත්තටම රස්සාවක් කරද්දී මොන වගේ දේවල් කරන්න වෙනවාද කියලා එයාලා හරියටම දන්නේ නැහැ. රස්සාව කරද්දී හිතුවාට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එයාලා හිතන තරම් නිදහසක් ලැබෙන්නෙත් නැහැ.

මොනවද කරන්න පුළුවන්?

දෙමාපියන් එක්ක කතා කරන්න. ඔයා කොච්චර කාලයක් ගෙදර ඉන්නවාද? ඔයාට ගෙදර වියහියදම්වලට කොච්චර දෙන්න පුළුවන්ද? ගෙදරදොරේ මොන වගේ වැඩවලට ඔයාට උදව් වෙන්න පුළුවන්ද? ඔයා ආයෙත් තනියම ජීවත් වෙන්න මොන වගේ සැලසුම්ද කරන්නේ? ඒ වගේ දේවල් ගැන අම්මලාට කියන්න. ඔයාගේ වයස මොකක් වුණත් ඔයා දැන් ඉන්නේ අම්මලාගේ යටතේ නිසා එයාලා කියන විදිහට ඔයාට ඉන්න වෙනවා කියන එකත් අමතක කරන්න එපා.—නික්මයාම 20:12 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරන්න ඉගෙනගන්න. “සල්ලි වියදම් කරන විදිහෙන් කියන්න පුළුවන් ඔයා අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරන කෙනෙක්ද නැද්ද කියලා. ඔයා සල්ලි වියදම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් ගන්න විතරයි” කියලා පොතක සඳහන් වෙනවා. (The Complete Guide to Personal Finance: For Teenagers and College Students.)—ලූක් 14:28 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

උපදෙස් ලබාගන්න. බැංකුවලින් ගණු දෙනු කරන විදිහ, වියදම් පාලනය කරන විදිහ වගේ දේවල් ගැන දෙමව්පියන්ගෙන් හෝ වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා දැනගන්න. මරී කියන යෞවනිය මෙහෙම කියනවා. “මට ආයෙත් මුල ඉඳන් දේවල් ඉගෙනගන්න වුණා. මං කරන හැම වියදමක් ගැනම ලියන්න කියලා මගේ යාළුවෙක් කිව්වා. එහෙම ලිව්වාමයි දැනගත්තේ මං වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ අනවශ්‍ය දේවල්වලට කියලා. තනියම ජීවත් වෙන්න නම් තමන්වම පාලනය කරගන්න ඕනේ කියන එක ඒකෙන් මං ඉගෙනගත්තා.”—හිතෝපදේශ 13:10 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වැදගත් වෙන්නේ ඔයා කරන වැඩේ නෙමෙයි. ඒක කොච්චර දක්ෂ විදිහට කරනවාද කියන එකයි

රස්සාවක් හොයාගන්න මහන්සි වෙන්න. රස්සාවක් හොයද්දී මේ ගැනත් හිතන්න. සමහර අය ඔයාට කියයි ඔයා ආස කරන විදිහේ රස්සාවක් හම්බ වෙන කල් ඉන්න කියලා. ඒත් එහෙම කළොත් ඊට වඩා හොඳ රස්සාවක් වුණත් ඔයා දන්නෙම නැතුව ඔයාට මඟ ඇරෙන්න පුළුවන්. ඒ නිසා හම්බ වෙන ඕනම රස්සාවක් කරන්න. වැදගත් වෙන්නේ ඔයා කරන වැඩේ නෙමෙයි. ඒක කොච්චර දක්ෂ විදිහට කරනවාද කියන එකයි. ඔයා කරන රස්සාව දක්ෂ විදිහට කරන්න ඉගෙනගද්දී ඔයා ඒකට ආස කරන්නත් පටන්ගනියි. ඒ නිසා ඔයා ආස රස්සාවක් කරන්න හිතනවා වෙනුවට දැනටමත් ඔයා කරන දේට ආස කරන්න!

^ 5 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 8 ඡේ. ඇමරිකාවේ උපාධියක් ලබාගන්න ගෙදරින් ගිහින් ජීවත් වෙන ගොඩක් ශිෂ්‍යයන් තමන්ගේ වියදම්වලට ණය ගන්නවා. ඔවුන් උපාධිය ලබාගන්න අවස්ථාව වෙද්දීත් ඩොලර් 33,000ක පමණ ණයක් ගෙවන්න ඉතුරු වෙනවා කියලා පුවත්පතක වාර්තා වෙනවා.—The Wall Street Journal.