Skip to content

පටුනට යන්න

ඇස් නොපෙනුණත් සතුටින්

ඇස් නොපෙනුණත් සතුටින්

“ඉපදුණු දවසේ ඇහැට දාපු බෙහෙතක් නිසා මගේ පෙනීම ගොඩක් දුර්වල වුණා. මං ටික ටික ලොකු වෙද්දි ඇස් දෙක පේන්නෙම නැතුව ගියා. මට දැනුණේ දරාගන්න බැරි දුකක්.”—මැදි වියේ ඉන්න පාකි. ඇගේ සැමියාගෙත් ඇස් පේන්නේ නැහැ.

විවිධ හේතු නිසා කෙනෙක්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. උදාහරණයකට අපේ ඇස්වලට, අක්ෂි ස්නායුවලට හෝ මොළයට සිද්ධ වෙන හානි නිසාත් සමහර රෝග නිසාත් ඒ දේ වෙන්න පුළුවන්. කෙනෙක්ට පෙනීම නැති වුණාම එයා අන්ධ කෙනෙක් කියලා එකපාරටම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයාට ලොකු දුකක්, බයක් හා කලකිරීමකුත් ඇති වෙනවා. ඒත් කාලයක් යද්දී ඒ තත්වයට අනුව හැඩගැහිලා සතුටින් ජීවත් වෙන්න එයාලා පුරුදු වෙනවා.

අවට ලෝකයේ සිද්ධ වෙන දේවල් දැනගන්න අපිට උදව් වෙන ප්‍රධානම දේ තමයි අපේ ඇස්. ඒත් කාට හරි පෙනීම නැති වුණොත් ඇසීම, ස්පර්ශය, ගඳ සුවඳ දැනීම හා රසය වගේ දේවල්වලින් ලෝකය දකින්න එයා පුරුදු වෙනවා.

මොළය සහ ස්නායු පිළිබඳව කරපු පරීක්ෂණයක් ගැන එක සඟරාවක මෙහෙම පල වුණා. “අපේ මොළයට පුළුවන් අපි මුහුණ දෙන තත්වයන්ට අනුව හැඩ ගැහෙන්න. උදාහරණයකට එක් සංවේදක ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය අඩාල වුණොත් අනිත් සංවේදක ඉන්ද්‍රියන්වල කාර්යක්ෂමතාව වැඩි කරන්න මොළයට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.” (Scientific American) මේ තොරතුරු බලන්න.

ඇසීම: ඇස් පේන්නේ නැති කෙනෙක්ට වෙන කෙනෙක්ව කටහඬින් විතරක් නෙමෙයි ඇවිදිනකොට එන හඬින් පවා අඳුනගන්න පුළුවන්. දෘෂ්‍යාබාධිත කෙනෙක් වන ෆනෑන්ඩෝ ඒ ගැන මෙහෙම කියනවා. “අනිත් අයගේ කටහඬවල්වලින්, ඒගොල්ලෝ ඇවිදිනකොට එන සද්දෙන් එයාලව අඳුනගන්න මං ඉගෙනගත්තා.” හුවාන් කිව්වේ “ඇස් පේන්නේ නැති කෙනෙක් වෙන කෙනෙක්ව මතක තියාගන්නේ එයාගේ කටහඬින්” කියලයි. අපි වගේම ඇස් පේන්නේ නැති අයටත් පුළුවන් කෙනෙක්ගේ කටහඬින් එයා ඉන්නේ දුකෙන්ද, සතුටින්ද, තරහෙන්ද කියලා දැනගන්න.

ඇස් පේන්නේ නැති කෙනෙක්ට අවට පරිසරයෙන් ඇහෙන හඬවල්වලින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. උදාහරණයකට පාරේ වාහන යන දිශාව, කාමරයක විශාලත්වය හා එයාට අවහිර වෙන දෙයක් තියෙන තැනක් වගේ දේවල් දැනගන්න පුළුවන්.

ගඳ සුවඳ දැනීම: සාමාන්‍ය කෙනෙක්ට වඩා ඇස් පේන්නේ නැති කෙනෙක් ගඳ සුවඳ දැනීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා. උදාහරණයකට ඒ වගේ කෙනෙක් ගමනක් යද්දී එයාට දැනෙන සුවඳවල්වලින් මිරිස් මෝලක්, බේකරියක්, අවන්හලක් වගේ දෙයක් තිබුණු තැන් මතක තියාගන්නවා. ආයෙත් වතාවක් ඒ තැනට යන්න ඕන වුණාම එයා මඟ සලකුණු හැටියට පාවිච්චි කරන්නේ ඒ ගඳ සුවඳ දැනුණු ස්ථානයි.

ස්පර්ශය: “මගේ ඇඟිලි තමයි මගේ ඇස්” කියලා ෆ්‍රැන්සිස්කෝ කියනවා. ඇස් පේන්නේ නැති අයට එයාලගේ ඇඟිලි වගේම සැරයැටියත් ගොඩක් ප්‍රයෝජනවත්. උපතින්ම අන්ධ කෙනෙක් වුණු මානාසෙස් පුංචි කාලේ ඉඳන්ම සැරයැටිය පාවිච්චි කරන්න ඉගෙනගත්තා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඇස් පේන්නේ නැති නිසා ඉන්න තැන දැනගන්න මගේ මතකය හා අනිත් ඉන්ද්‍රියන් උදව් වෙනවා. සැරයැටියත් ඒකට ලොකු උදව්වක්.”

බ්‍රේල් ‘මුරටැඹ’ සඟරාවක් කියවමින්

බ්‍රේල්වලින් පොත් පත් ප්‍රකාශයට පත් කරන නිසා ඇස් පේන්නේ නැති අයට එයාලගේ ඇඟිලි පාවිච්චි කරලා ඒ පොත් පත් කියවන්න පුළුවන්. මේ නිසා එයාලට දැනුම ලබාගන්න වගේම ආගම දහම ගැන දැනගන්නත් හැකියාවක් තියෙනවා. බ්‍රේල් ප්‍රකාශනවලට අමතරව එයාලාට පටිගත කරපු තොරතුරු වගේම පරිගණක මාර්ගයෙනුත් තොරතුරු ලබාගන්න පුළුවන්. මේ ක්‍රම නිසා දැන් ඇස් පේන්නේ නැති අයත් බයිබලය හා ඒ මත පදනම් පොත් පත් කියවලා දැනුම ලබාගන්නවා. *

ඒ දේවල් නිසා මේ ලිපියේ මුලින්ම සඳහන් කරපු පාකිට හා එයාගේ සැමියාට ලොකු සහනයක් අද්දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා අනිත් සාක්ෂිකරුවන්ගේ ආදරය සහ රැකවරණයත් ඒගොල්ලන්ට ලැබෙනවා. පාකි මෙහෙම කියනවා. “අපි දැන් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව සතුටින් ජීවත් වෙනවා.”

ඇස් පේන්නේ නැති අය විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඒත් ඒ අභියෝග ජය ගන්න එකෙන් එයාලා පෙන්නන්නේ මිනිසුන්ට ඕනම තත්වයකට හැඩගැහිලා සාර්ථකව අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියන එකයි.

^ 10 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 25කට වඩා වැඩි ගණනකින් බ්‍රේල් පොත් පත් ප්‍රකාශයට පත් කරනවා.