Skip to content

කිසිම මිනිසෙක් දෙවියන්ව දැකලා තියෙනවාද?

කිසිම මිනිසෙක් දෙවියන්ව දැකලා තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 කිසිම මිනිසෙක් කවදාවත් දෙවියන්ව දැකලා නැහැ. (නික්මයාම 33:20; යොහන් 1:18; 1 යොහන් 4:12) බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්” කියලයි. ඔහුට තියෙන්නේ අපිට තියෙනවා වගේ ශරීරයක් නෙවෙයි. ඒ නිසා කිසිම මිනිසෙකුට දෙවියන්ව දකින්න බැහැ.—යොහන් 4:24; 1 තිමෝති 1:17.

 හැබැයි දේවදූතයන්ට නම් දෙවියන්ව දකින්න පුළුවන්. මොකද ඒ අයව නිර්මාණය කරලා තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහට. (මතෙව් 18:10) ඒ විතරක් නෙවෙයි, මිනිසුන් අතරින් සමහර දෙනෙක්වත් ස්වර්ගයට ගන්න නිසා දෙවියන්ව දකින්න ඒ අයටත් පුළුවන් වෙනවා.—ෆිලිප්පි 3:20, 21; 1 යොහන් 3:2.

මේ කාලයේදී දෙවියන්ව දැකගන්න පුළුවන් කොහොමද?

 යම් දෙයක් අවබෝධ කරගැනීමත් යම් දෙයක් ඇස් දෙකෙන්ම දකිනවා හා සමාන දෙයක් විදිහට බයිබලයේ විස්තර කරලා තියෙනවා. (යෙසායා 6:10; යෙරෙමියා 5:21; යොහන් 9:39-41) ඒ අර්ථයෙන් ගද්දී කෙනෙක් දෙවි ගැන ‘හොඳින් අවබෝධ කරගෙන’ දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්නවා නම් ඔහු දෙවියන්ව දකිනවා හා සමානයි කියලා කියන්න පුළුවන්. (එෆීස 1:18) ඒ වගේ කෙනෙක් දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ ගුණාංග අගය කරන්න පෙලඹෙනවා. දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න නම් අපි කරන්න ඕන මොනවාද කියලා බයිබලයේ සඳහන් වෙනවා.

  •   දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල්වලින් ඔහුගේ ප්‍රේමය, ත්‍යාගශීලීකම, ප්‍රඥාව සහ බලය ගැන ඉගෙනගන්න. (රෝම 1:20) පුරාණයේදී දෙවියන්ට විශ්වාසවන්තව හිටිය යෝබ්ට දෙවියන්ගේ ගුණංග ගැන මතක් කරලා දුන්නාට පස්සේ ඔහු කිව්වේ දෙවියන්ව තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලයි.—යෝබ් 42:5.

  •   බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න. “ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි” කියලා බයිබලයේම සඳහන් වෙනවා.—1 ලේකම් 28:9; ගීතාවලිය 119:2; යොහන් 17:3.

  •   යේසුස් ගැන ඉගෙනගන්න. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස් කිව්වා. (යොහන් 14:9) ඔහු එහෙම කිව්වේ තම පියාණන් වන යෙහෝවා දෙවියන්ව ඔහු හැම අතින්ම අනුගමනය කරපු නිසයි. ඒ නිසා ඔයා යේසුස් ගැන ඉගෙනගත්තොත් දෙවියන් ගැනත් ඉගෙනගන්න පුළුවන් වෙනවා.

  •   දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න. එතකොට දෙවියන් ඔයා වෙනුවෙන් කරන දේවල් අද්දකින්න ඔයාට පුළුවන් වෙයි. යේසුස් කියපු මේ දේ බලන්න. “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න ඔවුන්ට හැකි වෙයි.” දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන අය අතරෙන් සමහරදෙනෙක්ව ස්වර්ගයට ගත්තාම ඒ අයට “දෙවිව දකින්න” පුළුවන් වෙනවා.—මතෙව් 5:8; ගීතාවලිය 11:7.

මෝසෙස්, ආබ්‍රහම් වගේ අය ඇත්තටම දෙවියන්ව දැක්කේ නැද්ද?

 සමහර අය දෙවියන්ව දැක්කා කියලා බයිබලයේ සඳහන් වෙනවා. හැබැයි අවට පද සලකලා බලද්දී අපිට තේරෙනවා ඒ අය ඇත්තටම දැකලා තියෙන්නේ දෙවියන්ව නියෝජනය කරපු දේවදූතයන්ව එහෙමත් නැත්නම් දර්ශනයන් කියලා.

 දේවදූතයන්.

අතීතයේදී දෙවියන් මිනිසුන්ට යම් පණිවිඩ දෙන්න තමන්ගේ නියෝජිතයන් විදිහට දේවදූතයන්ව පොළොවට එව්වා. (ගීතාවලිය 103:20) උදාහරණයකට එක අවස්ථාවකදී ඔහු ඇවිළෙන කටු පඳුරක් මාර්ගයෙන් මෝසෙස්ට කතා කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ “මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය” කියලයි. (නික්මයාම 3:4, 6) ඒ අවස්ථාවේදී මෝසෙස් ඇත්තටම දෙවියන්ව දැක්කේ නැහැ කියලත් ඒ වෙනුවට ඔහු දැක්කේ “යෙහෝවා දෙවිගේ දූතයාව” කියලත් අවට පදවලින් පැහැදිලි වෙනවා.—නික්මයාම 3:2.

 “මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 4:10, 11; 33:11) හැබැයි මෝසෙස් ඇත්තටම දෙවියන්ව දැක්කේ නැහැ. ඒ වෙනුවට දෙවියන් මෝසෙස්ට හැම තොරතුරක්ම ලබා දුන්නේ “දේවදූතයන් මාර්ගයෙන්.” (ගලාති 3:19; ක්‍රියා 7:53) ඒ වුණත් මෝසෙස්ට දෙවියන් ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියනවා නම් බයිබලයේ සඳහන් වෙන්නේ “නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයක්” ඔහුට තිබුණා කියලයි.—හෙබ්‍රෙව් 11:27.

 දෙවියන් මෝසෙස් එක්ක කතා කළා වගේ ආබ්‍රහම් එක්කත් කතා කළේ දේවදූතයන් මාර්ගයෙන්. හැබැයි සමහරවිට ඒ වාර්තාව කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආබ්‍රහම් ඇත්තටම දෙවියන්ව දැක්කා කියලා. (උත්පත්ති 18:1, 33) ඒත් අවට පද බලද්දී පැහැදිලි වෙනවා ආබ්‍රහම්ව හමු වෙන්න ආපු “පුරුෂයන් තුන්දෙනා” දෙවියන් එවපු දේවදූතයන් කියලා. ඒ අය දෙවියන්ගේ නියෝජිතයන් කියලා තේරුම්ගත්ත නිසයි ආබ්‍රහම් යෙහෝවා දෙවියන් එක්ක කතා කරන විදිහට ඒ අයත් එක්ක කතා කළේ.—උත්පත්ති 18:2, 3, 22, 32; 19:1.

 දර්ශනයන්.

දෙවියන් දර්ශනයන් මාර්ගයෙනුත් මිනිසුන්ට කතා කරලා තියෙනවා. උදාහරණයකට දෙවිගේ සෙනඟ “ඊශ්‍රායෙල්හි දෙවිව දර්ශනයකින් දුටුවා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 24:9-11) ඒ වගේම සමහර අනාගතවක්තෘවරුන් ‘යෙහෝවා දෙවියන්ව දැක්කා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 6:1; දානියෙල් 7:9; ආමොස් 9:1) හැබැයි අවට පද බලද්දී පැහැදිලි වෙනවා ඒ හැම අවස්ථාවකදීම ඒ අය දෙවියන්ව දැකලා තියෙන්නේ දර්ශනයන් මාර්ගයෙන් කියලා.—යෙසායා 1:1; දානියෙල් 7:2; ආමොස් 1:1.