Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ එහෙම කරන එකෙන් දෙවියන්ව අසතුටු වෙන නිසයි. බයිබලයේ උපන් දින ගැන කෙළින්ම සඳහන් කරලා නැතත් උපන් දින ගැන තියෙන කරුණු සලකා බලද්දී දෙවියන් ඒ ගැන දරන අදහස දැනගන්න පුළුවන්. ඒ ගැන බයිබල් ප්‍රතිපත්ති 4ක් දැන් අපි බලමු.

  1.   උපන් දින සැමරීම්වලට තියෙන්නේ මිථ්‍යා ආරම්භයක්. උපන් දින උත්සව පවත්වන්න පටන්ගත්ත විදිහ ගැන එක පොතක මෙහෙම කියනවා. “උපන් දිනය සමරන කෙනාව යාළුවන් වට කරගෙන ඉන්න එකෙනුත් ඒ අය කරන ප්‍රාර්ථනාවලිනුත් ඔහුව භූත බලපෑම්වලින් ආරක්ෂා කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.” (Funk & Wagnalls Standard Dictionary of Folklore, Mythology, and Legend) තවත් පොතක මෙහෙම කියනවා. ‘පුරාණයේදී හඳහනක් හදන්න ඉපදුණ වෙලාවයි වෙනත් විස්තරයි ඕන වුණා. හඳහන හදන්නේ ඉපදුණ වෙලාවේ තරු පිහිටලා තිබුණ විදිහ බලලා. ඒ කියන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවයි. ඒ වගේම උපන් දිනය සමරන කෙනාගේ ප්‍රාර්ථනා ඉටු කරන්න එදින දල්වන ඉටිපන්දම්වලට විශේෂ හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා.’—The Lore of Birthdays.

     ඒත් බයිබලයේ මන්තර ගුරුකම් කරන එක, පේන කියන එක, නිමිති බලන එක වගේ භූතවාදයට සම්බන්ධ ‘ඕනම දෙයක්’ හෙළාදැකලා තියෙනවා. (ද්විතීය කතාව 18:14; ගලාති 5:19-21) දෙවියන් පුරාණ බැබිලෝනි නගරය හෙළාදකින්න එක හේතුවක් වුණේ එහේ හිටිය සෙනඟ ශාස්ත්‍ර බැලුව නිසයි. ඒක භූතවාදයට සම්බන්ධ දෙයක්. (යෙසායා 47:11-15) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ හැම චාරිත්‍රයකම සුලමුල හොයන කට්ටියක් නෙමෙයි. ඒත් ඔවුන් බයිබලයේ පැහැදිලි මඟ පෙන්වීම් දීලා තියෙන අවස්ථාවලදී ඒවා නොසලකාහරින්නෙත් නැහැ.

  2.   මුල් ක්‍රිස්තියානීන් උපන් දින උත්සව පැවැත්තුවේ නැහැ. විශ්වකෝෂයක මෙහෙම කියනවා. “කාගේ හරි උපන් දිනයක් සමරන එක බොරු චාරිත්‍රයක් කියලයි ඔවුන් හිතුවේ.” (The World Book Encyclopedia) යේසුස්ගෙන් ඉගෙනගත්ත නියෝජිතයන් සහ වෙනත් අය අනුගමනය කෙරුවේ යේසුස් ඉගැන්නුව දේවල් කියලා බයිබලයේ කියනවා. ක්‍රිස්තියානීන් අනුගමනය කරන්න ඕන ඔවුන්ගේ ආදර්ශයයි.—2 තෙසලෝනික 3:6.

  3.   ක්‍රිස්තියානීන්ට පවත්වන්න කියලා කිව්ව එකම සැමරීම යේසුස්ගේ මරණය මිසක් උපන් දිනය නෙවෙයි. (ලූක් 22:17-20) “උපන් දවසට වඩා මිය යන දවස හොඳය” කියලා බයිබලයේ කියන නිසා ඒ ගැන පුදුම වෙන්න ඕන නැහැ. (දේශනාකාරයා 7:1) යේසුස් මිය යද්දී දෙවියන් ඉදිරියේ හොඳ නමක් දිනාගෙන හිටියා. ඒ නිසා ඔහුගේ උපන් දිනයට වඩා මිය ගිය දිනය වැදගත් වුණා.—හෙබ්‍රෙව් 1:4.

  4.   දෙවියන්ගේ සේවකයෙක් උපන් දිනය සැමරුවා කියලා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ ගැන සඳහන් නොවුණේ වැරදීමකින් නෙවෙයි. මොකද දෙවියන්ට සේවය කෙරුවේ නැති දෙන්නෙක්ගේ උපන් දින උත්සව ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අවස්ථා දෙකම සඳහන් කරලා තියෙන්නේ සිද්ධ වුණේ නරක දේවල් කියලා පෙන්වන්නයි.—උත්පත්ති 40:20-22; මාක් 6:21-29.

උපන් දින උත්සව පවත්වන්නේ නැති නිසා සාක්ෂිකරුවන්ගේ දරුවන්ට අඩුවක් දැනෙනවාද?

 සාමාන්‍යයෙන් හොඳ දෙමව්පියන් දරුවන්ට ආදරේ පෙන්වන්නේ අවුරුද්දේ එක දවසක විතරක් නෙවෙයි. ඒ වගේම තෑගි දෙන්නෙත් එකතු වෙලා විනෝද වෙන්නෙත් එක දවසක විතරක් නෙවෙයි. සාක්ෂිකරුවනුත් ඒ වගේ. ඒ අය උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ට නිතරම හොඳ දේවල් දෙන දෙවියන්ගේ ආදර්ශය අනුගමනය කරන්නයි. (මතෙව් 7:11) සාක්ෂිකාර දෙමව්පියන්ගේ දරුවන්ට අඩුවක් දැනෙන්නේ නැහැ කියන එක ඔවුන් කිව්ව මේ දේවලින් පැහැදිලි වෙනවා.

  •   “හිතන්නේ නැති වෙලාවක කවුරු හරි මට තෑග්ගක් දුන්නොත් ඊට වඩා සතුටක් නැහැ.”—ටැමි, වයස අවුරුදු 12යි.

  •   “මගේ උපන් දිනයට තෑගි දුන්නේ නැතත් අම්මායි තාත්තායි වෙන දවස්වලදී තෑගි දෙනවා. නොහිතන වෙලාවක තෑගි හම්බවෙන එකට මං කැමතියි.”—ග්‍රෙගරි, වයස අවුරුදු 11යි.

  •   “විනාඩි දහයකට රසකැවිලි ටිකක් කාලා, සිංදුවක් කියන එක සාදයක් කියලා ඔයා හිතනවාද? ඇත්තටම සාදයක් කියන්නේ මොකක්ද කියලා ඔයා අපේ ගෙදර ඇවිත් බලන්නකෝ!”—එරික්, වයස අවුරුදු 6යි.