Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි”

“මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි”
  • ඉපදුණ අවුරුද්ද: 1974

  • රට: ලැට්වියාව

  • අතීතයේදී: මෝටර් සයිකල් ධාවන ශූරයෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ ලැට්වියාවේ අගනුවර වන රිගාවල. මාවයි අක්කාවයි බලාගත්තේ අම්මා. අම්මා කතෝලික වුණත් උත්සව දවස්වලට විතරයි අපි පල්ලි ගියේ. පොඩි කාලේ ඉඳලා මම විශ්වාස කළා මිනිසුන්ට වඩා බලවත් කෙනෙක් කොහේ හරි ඉන්නවා ඇති කියලා. ඒත් යෞවන කාලෙදී මගේ හිත ගියේ වෙන වෙන දේවලටයි.

පොඩි කාලෙදී මං ඕන දෙයක් කෑලි කෑලිවලට ගලවලා ආයේ ඒක හදන්න හරි හපනෙක් කියලා අම්මාට තේරුණා. ගෙදර තිබුණු දේවල් මම ගලවයි කියන බය නිසා මාව තනියෙන් ගෙදර තියලා යන්නත් අම්මා බය වුණා. කරදරෙන් ගොඩ එන්න හිතාගෙන අම්මා මට ගෙනත් දුන්නා ලෝහ සෙල්ලම් බඩු කට්ටලයක්. ඒකේ කෑලිවලින් එක එක දේවල් හදන්නයි ඒවා ආපහු ගලවන්නයි මම හුඟක් ආස කළා. කාලයක් යද්දී ඒ ආසාව මෝටර් සයිකල් පදින ආසාවට පෙරළුණා. ඒ නිසා අම්මා මාව මෝටර් සයිකල් තරඟයකට යැව්වා. මං තරඟ කරන්න පටන්ගත්තේ පුංචි මෝටර් සයිකලයකින්. ඊටපස්සේ මම ලොකු මෝටර් සයිකල්වලිනුත් තරඟ කළා.

ඒ ක්‍රීඩාව හරිම භයානක එකක් වුණත් මම ඒක ඉක්මනින්ම ඉගෙනගෙන වේගවත් ධාවකයෙක් වුණා. මම ලැට්වියානු මෝටර් සයිකල් ශූරතා කිහිපයකුත් බෝල්ටික් ජනපද සුපිරි මෝටර් සයිකල් ශූරතාව දෙසැරයකුත් දිනාගත්තා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

සුපිරි මෝටර් සයිකල් ධාවකයෙක් විදිහට මම හිණි පෙත්තටම නැඟලා හිටපු කාලේ මගේ පෙම්වතිය වුණු එවියාට (දැන් බිරිඳ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. එයාලගෙන් ලැබුණ පොත්වලින් එකක තිබුණ කූපනයක් පුරවලා බයිබල් පාඩමක් කරන්න කැමතියි කියලා එයා යැව්වා. සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉක්මනින්ම ඇවිත් ඇය එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒත් බයිබලය ගැන ඉගෙනගන්න මට නම් එච්චර ආසාවක් තිබුණේ නැහැ.

කාලෙකට පස්සේ, එවියාගේ බයිබල් පාඩමට ඇවිත් අහගෙන ඉන්න කියලා සාක්ෂිකරුවන් මට කිව්වා. පාඩමේදී උගන්වපු සමහර දේවල්වලට මට ආස හිතුණා. හුඟක්ම ආස හිතුණේ පාරාදීස පොළොව ගැන බයිබලයේ තියෙන පොරොන්දුවටයි. ඒ ගැන ගීතාවලිය 37:10, 11 තියෙන දේ එයාලා මට පෙන්නුවා. ඒකේ කියන්නේ “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලයි. ඒ පොරොන්දුව මගේ හිතට කාවැදුණා.

ටිකෙන් ටික බයිබලයෙන් තව දේවල් දැනගන්න මගේ හිතේ ආසාවක් ඇති වුණා. බයිබලය ගැන ඉගෙනගනිද්දී මට තේරුණා ආගම්වල කොයි තරම් බොරු දේවල් උගන්වනවාද කියලා. ඒත් ඊට වඩා වෙනස්ව බයිබලයේ තියෙන ඉගැන්වීම් හරිම තර්කානුකූලයි පැහැදිලියි.

බයිබල් පාඩම කරගෙන යද්දී මං තේරුම්ගත්තා දෙවියන්ට අපේ ජීවිත කොයි තරම් වටිනවාද කියලා. (ගීතාවලිය 36:9) ඒ නිසා ජීවිතයට අවදානමක් වෙන තරඟවල යෙදෙන්නේ නැහැ කියලා මං තීරණය කළා. ඒ වෙනුවට මට ඕන වුණේ මගේ ජීවිත කාලයේදී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නයි. ඒක හින්දා මෝටර් සයිකල් තරඟවලින් මම ලබපු කීර්තිය, ගෞරවය හා සතුට මම හිතෙන් අහක් කරගත්තා.

ජීවිතය දීපු තැනැත්තාට මං මගේ ජීවිතේ ගැන වග කියන්න ඕන කියලා තේරුම්ගත්තා

එස්තෝනියාවේ ටැලින්වල 1996දී තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකට මං ගියා. ඒක තිබුණේ ඉස්සර මං මෝටර් සයිකල් තරඟවලට නිතරම ගිය තැනට කිට්ටුවෙන්මයි. ඒ සමුළුවේදී හුඟක් රටවලින් ආපු අය එකමුතුව සාමයෙන් ඉන්නවා මං දැක්කා. එදා එක් කෙනෙක්ගේ පර්ස් එක නැති වුණා. මට හිතුණේ ඒක කවදාවත් එයාට හම්බවෙන එකක් නැහැ කියලා. ඒත් වැඩි වෙලාවක් ගියේ නැහැ තවත් කෙනෙක් ඒක ගෙනත් දුන්නා. කිසි දෙයක් අඩු වෙලා තිබුණේ නැහැ. මට පුදුම හිතුණා. එතකොට තමයි මට හොඳටම තේරුණේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන අය කියලා. එවියායි මායි 1997දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තිස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

ජීවිතේ වටිනාකම තේරුම්ගත්තේ නැති මගේ සමහර යාළුවෝ ධාවන තරඟවලදී මැරුණා. ඒත් ජීවිතය දීපු තැනැත්තා වන යෙහෝවා දෙවියන්ට මං මගේ ජීවිතේ ගැන වග කියන්න ඕන කියලා තේරුම්ගත්ත හින්දා මගේ ජීවිතේ අද බේරිලා.

මායි එවියායි අවුරුදු හතරක්ම රිගාවල තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ පූර්ණකාලීන සේවකයන් විදිහට වැඩ කළා. දැන් අපේ දුවව යෙහෝවා දෙවියන්ට ළං වෙන්න උදව් කරන එකේ සතුට අපි අද්දකිනවා. ඒ වගේම සතියට එක දවසක් පරිවර්තන කාර්යාලයේ වාහන හා තවත් දේවල් අලුත්වැඩියා කරන වරප්‍රසාදය මට ලැබිලා තියෙනවා. පොඩි කාලේ ඉඳලා තිබුණු දක්ෂතාව මේ විදිහට පාවිච්චි කරන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මං තාමත් මොනවා හරි දෙයක් කෑලි කෑලිවලට ගලවලා ආයේ හදන්න හරි හපනෙක්.

බයිබලයෙන් දැනගත්ත දේවල්වලට ස්තුතිවන්ත වෙන්න මං දැන් මගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන එකේ ප්‍රීතිය අද්දකිනවා. ඇත්තෙන්ම මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි.