Skip to content

සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?

සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 සත්‍ය ආගම සහ අසත්‍ය ආගම අතර වෙනස හොයාගන්න උදව් වෙන උදාහරණයක් බයිබලයේ තියෙනවා. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි. මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනියිද?” (මතෙව් 7:16) මිදිවැලකින් උපදවන පල සහ ගොකටුවලින් උපදවන පල අතර වෙනස පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම සත්‍ය ආගම හා අසත්‍ය ආගම අතර වෙනසත් ආගම්වල පලවලින් පැහැදිලිව දකින්න පුළුවන්.

  1.   සත්‍ය ආගමේ උගන්වන්නේ මිනිසුන්ගේ දර්ශන නෙවෙයි බයිබලය මත පදනම් දේවලුයි. (යොහන් 4:24; 17:17) ඒ සත්‍ය කරුණුවලට මරණයෙන් පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ කියන එකත් පාරාදීසයක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියන එකත් ඇතුළත්. (ගීතාවලිය 37:29; යෙසායා 35:5, 6; ගීතාවලිය 146:4) ඒ වගේම ආගම්වල අසත්‍ය දේවල් උගන්වනවා කියලත් බයිබලයේ හෙළි කරලා තියෙනවා.—මතෙව් 15:9; 23:27, 28.

  2.   දෙවියන් ගැන දැනගන්න සත්‍ය ආගම උදව් කරනවා. ඔහුගේ නම යෙහෝවා කියලත් උගන්වනවා. (ගීතාවලිය 83:18; යෙසායා 42:8; යොහන් 17:3, 6) දෙවියන් තේරුම්ගන්න බැරි කෙනෙක් නැත්නම් මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් කියලා උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට උගන්වන්නේ ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් කියලයි.—යාකොබ් 4:8.

  3.   දෙවියන් මිනිසුන්ට ගැලවීම ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් කියලා සත්‍ය ආගමේ පෙන්වනවා. (ක්‍රියා 4:10, 12) සත්‍ය ආගමේ අය යේසුස්ගේ ආඥාවලට කීකරු වෙමින් ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න උත්සාහ කරනවා.—යොහන් 13:15; 15:14.

  4.   මිනිසුන්ට සම්පූර්ණ සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම ආණ්ඩුව දේවරාජ්‍යයයි කියලා සත්‍ය ආගමේ උගන්වනවා. ඔවුන් උද්‍යෝගයෙන් ඒ රාජ්‍යය ගැන අනිත් අයට කියනවා.—මතෙව් 10:7; 24:14.

  5.   සත්‍ය ආගම දිරිගන්වන්නේ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අනිත් අයට ප්‍රේමය පෙන්වන්නයි. (යොහන් 13:35) හැම ජාතියකම, හැම සංස්කෘතියකම, හැම පසුබිමකම ඉන්න හැම භාෂාවක්ම කතා කරන අයට ගෞරව කරන්නත් උගන්වනවා. (ක්‍රියා 10:34, 35) අනිත් අයට ප්‍රේම කරන නිසා ඔවුන් යුද්ධවලට හවුල් වෙන්නෙත් නැහැ.—මීකා 4:3; 1 යොහන් 3:11, 12.

  6.   සත්‍ය ආගමේ වැටුපක් ලබන පූජකයන් නැහැ. කිසි කෙනෙක්ව විශේෂ ගෞරව නාමවලින් හඳුන්වන්නෙත් නැහැ.—මතෙව් 23:8-12; 1 පේතෘස් 5:2, 3.

  7.   සත්‍ය ආගම දේශපාලනයට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙන්නේ නැහැ. (යොහන් 17:16; 18:36) ඒ වුණත් ඔවුන් ජීවත් වෙන රටේ පවතින ආණ්ඩුවට යටත් වෙලා ඉන්නවා. එහෙම ඉන්නේ බයිබලයේ තියෙන මේ අණට එකඟවයි. “සීසර්ට අයිති දේ සීසර්ටත් [ආණ්ඩුවේ බලධාරීන්ටත්] දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.”—මාක් 12:17; රෝම 13:1, 2.

  8.   සත්‍ය ආගමෙන් උගන්වන්නේ මුළු ජීවිතයම සත්‍ය ඉගැන්වීම්වලට අනුව ගත කරන්නයි. එහෙම නැතුව වත්පිළිවෙත් විතරක් ඉටු කරන්න නෙමෙයි. ඒ නිසා සත්‍ය ආගමේ අය උසස් බයිබල් ප්‍රතිපත්ති ජීවිතයේ හැම පැත්තකටම අදාළ කරගන්නවා. (එෆීස 5:3-5; 1 යොහන් 3:18) ‘ප්‍රීතිමත් දෙවියන්ට’ නමස්කාර කරන එක ඔවුන් සලකන්නේ බරක් විදිහට නෙමෙයි සතුටක් විදිහටයි.—1 තිමෝති 1:11.

  9.   සත්‍ය ආගම පිළිපදින අය ඉන්නේ ටිකදෙනයි. (මතෙව් 7:13, 14) ඔවුන් දෙවියන්ගේ කැමැත්ත කරන නිසා පිළිකුලට, සමච්චලයට, හිංසාවලට ලක් වෙනවා.—මතෙව් 5:10-12.

සත්‍ය ආගම කියන්නේ මට හොඳයි කියලා කෙනෙක්ට හිතෙන ආගම නෙමෙයි

 අපිට හොඳයි කියලා හිතෙන නිසාම ආගමක් තෝරගන්න එක භයානකයි. මොකද බයිබලයේ කියලා තියෙනවා මිනිසුන් ‘ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ට’ කැමති වෙන කාලයක් එනවා කියලා. (2 තිමෝති 4:3) ඒත් බයිබලයේ අපිට උනන්දු කරන්නේ අපි ඉන්න ආගම ජනප්‍රිය නොවුණත් “අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න” කියලයි.—යාකොබ් 1:27; යොහන් 15:18, 19.