Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

මාක් 11:24 - “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න”

මාක් 11:24 - “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න”

 “එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.”—මාක් 11:24, ‘නව ලොව පරිවර්තනය.’

 “එබැවින් නුඹලාට කියමි—නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.”—මාක් 11:24, ‘පැරණි අනුවාදය.’

මාක් 11:24 අදහස

 යේසුස් මේ වචන කිව්වේ යාච්ඤාවට තියෙන බලය ගැන විශ්වාසය තියන එක කොච්චර වැදගත්ද කියලා ගෝලයන්ට කාවද්දනයි. ඔහු එයාලට කිව්වා දෙවියන් එයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා විතරක් නෙවෙයි ඒවාට උත්තරත් දෙනවා කියලා. ඉතින් කෙනෙක් දෙවියන්ගේ කැමැත්තට එකඟව මුළු හදවතින්ම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා එයාට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේ විශ්වාසයක් තියෙන කෙනෙක් සලකන්නේ දෙවියන් එයාගේ යාච්ඤාවලට දැනටමත් උත්තර දීලා ඉවරයි කියලයි.

 යේසුස් මේ උත්සාහ කරන්නේ දෙවියන්ගෙන් විශ්වාසයෙන් ඉල්ලන එකේ වැදගත්කම කාවද්දන්නයි. ඒ නිසයි ඔහු කිව්වේ ඉල්ලද්දී “කිසිම සැකයක් තියාගන්නේ නැතුව තමන් කී දේ සිදු වෙනවාමයි කියන විශ්වාසයෙන්” ඉල්ලන්න කියලා. (මාක් 11:23) ඒ ඇයි? මොකද සැකයෙන් ඉල්ලන කෙනෙක්ට ‘දෙවියන්ගෙන් කිසිවක් ලැබෙයි’ කියලා හිතන්න බැහැ. aයාකොබ් 1:5-8.

 විශ්වාසය තියෙන කෙනෙක් මොන තත්වයන්ට මුහුණ දුන්නත් දෙවියන්ට දිගටම යාච්ඤා කරනවා. (ලූක් 11:9, 10; රෝම 12:12) එහෙම කරන එකෙන් එයා පෙන්නන්නේ එයා ඉල්ලන දේ එයාට ඇත්තටම ඕනෙ කියලයි. ඒ වගේම දෙවියන් කවදා හරි ඒ ඉල්ලීම ඉටු කරනවා කියලා එයා විශ්වාස කරනවා කියලයි. අනිත් අතට විශ්වාසයෙන් යාච්ඤා කරන කෙනෙක් පිළිගන්නවා එයා හිතුවේවත් නැති විදිහට, හිතුවේවත් නැති වෙලාවක වුණත් දෙවියන් එයාගේ යාච්ඤාවට උත්තර දෙන්න ඉඩ තියෙනවා කියලා.—එෆීස 3:20; හෙබ්‍රෙව් 11:6.

 යේසුස් කිව්වේ දෙවියන් ඕනම කෙනෙක්ගේ, ඕනම යාච්ඤාවකට ඇහුම්කන් දෙනවා කියලා නෙවෙයි. කොහොමද අපි ඒක දන්නේ? යේසුස් මේ වචන කිව්වේ ඔහුගේ අනුගාමිකයන්ට. එයාලා විශ්වාසවන්ත අය. ඒ වගේම දෙවියන් කැමති විදිහට නමස්කාර කරන්න ගොඩක් මහන්සි වුණ අය. බයිබලෙත් කියන්නේ දෙවියන් ඇහුම්කන් දෙන්නේ ඔහුගේ කැමැත්තට එකඟව කරන ඉල්ලීම්වලට විතරයි කියලා. (1 යොහන් 5:14) ඉතින් කෙනෙක් හිතාමතාම දෙවියන්ගේ ප්‍රමිති කඩ කරකර, කිසිම පසුතැවිල්ලක් නැතුව වැරදි කරකර දෙවියන්ගෙන් කරන ඉල්ලීම්වලට ඔහු කොහොමටවත්ම ඇහුම්කන් දෙන්නේ නැහැ. (යෙසායා 1:15; මීකා 3:4; යොහන් 9:31) ඒ ගැන තවත් විස්තර දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

මාක් 11:24 අවට පද

 යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක හිටපු අන්තිම දවස් කීපයේ එයාලට කාවැද්දුවා ශක්තිමත් විශ්වාසයක් තියෙන එකේ වැදගත්කම ගැන. ඒකට යේසුස් ලස්සන උදාහරණයක් පාවිච්චි කළා. දවසක් ගෝලයන් එක්ක යෙරුසලමට යන අතරතුරේ ඔහු දැක්කා කොළ තියෙන අත්තික්කා ගහක්. ඉතින් කොළ තියෙන නිසා යේසුස් හිතුවේ ඒකේ අනිවාර්යයෙන්ම ගෙඩිත් ඇති කියලා. හැබැයි ළඟට ගිහින් බලද්දී ඒකේ ගෙඩි තිබුණේ නැහැ. ඒ නිසා යේසුස් ඒ ගහට ශාප කළා. (මාක් 11:12-14) ඊශ්‍රායෙල් ජාතියත් හරියට ඒ ගහ වගේ. බැලූ බැල්මට එයාලා විශ්වාසවන්තව දෙවියන්ට නමස්කාර කරනවා කියලයි දකින්න තිබ්බේ. හරියට පල දරන ගහක් වගේ. ඒත් ඇත්තටම විශ්වාසය කියන පල එයාලා ගාව තිබුණේ නැහැ. (මතෙව් 21:43) යේසුස් දැකපු ඒ අත්තික්කා ගහ වැඩි කල් යන්න කලින් මැලවිලා ගියා. ඒකෙන් පෙන්නුවේ ඊශ්‍රායෙල් ජාතියට වෙන්න යන දේ ගැනයි.—මාක් 11:19-21.

 යේසුස් දැනන් හිටියා ඊශ්‍රායෙල්වරුන්ට වඩා වෙනස්ව තමන්ගේ අනුගාමිකයන් ශක්තිමත් විශ්වාසයක් ඇති කරගනියි කියලා. ඒ විශ්වාසය නිසා එයාලා ඕනෑම අභියෝගයක් ජය ගනියි කියලත් පුදුමාකාර දේවල් කරයි කියලත් යේසුස් විශ්වාස කළා. (මාක් 11:22, 23) යාච්ඤාව ගැන යේසුස් දුන්න මේ මඟ පෙන්වීම නියම වෙලාවට ලැබුණ එකක් කියලා කියන්න පුළුවන්. මොකද යේසුස්ගේ ගෝලයන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න වැඩි දවසක් තිබ්බේ නැහැ. එයාලට සිද්ධ වුණා යේසුස්ගේ මරණය දරාගන්න. ඒ වගේම සේවේ නිසා ඇති වෙන විරුද්ධවාදිකම්වලට ධෛර්යවන්තව මුහුණ දෙන්න. (ලූක් 24:17-20; ක්‍රියා 5:17, 18, 40) අද ඉන්න යේසුස්ගේ අනුගාමිකයන්ටත් දෙවියන් ගැන, යාච්ඤාවේ බලය ගැන නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් සාතන් ගේන ඕනෑම අභියෝගයකට නිර්භීතව මුහුණ දෙන්න පුළුවන්.—යාකොබ් 2:26.

 මාක් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.