Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ

මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ

නෝවාගේ කාලෙන් පස්සේ ආබ්‍රහම්ට දෙවියන් පොරොන්දු වුණා “පැවත එන තැනැත්තා” එන්නේ එයාගේ පෙළපතින් කියලා. ඒ තැනැත්තා නිසා ‘පොළොවේ සියලු ජාතීන්’ ආශීර්වාද ලබනවා කියලත් දෙවියන් කිව්වා. (උත්පත්ති 22:18) පස්සේ කාලෙක ආබ්‍රහම්ගේ මුනුපුරා වුණු යාකොබ් ඊජිප්තුවේ පදිංචියට ගියා. එහෙදී එයාගේ පවුලේ අය ගණනින් වැඩි වුණා. ඊශ්‍රායෙල් ජාතිය බිහි වුණේ එහෙමයි.

කාලයක් යද්දී ඊජිප්තුවේ කෲර පාරාවෝ රජ ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගත්තා. ඒත් දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ව පුදුමාකාර විදිහට ගලවගත්තා. ඊටපස්සේ ඔවුන්ව ආරක්ෂා කරන්න හා ඔවුන්ට මඟ පෙන්වන්න දසපනත හා තවත් නීති දුන්නා. පව්වලට සමාව ලබාගන්න ඔප්පු කරන්න ඕන පූජා ගැනත් ඒ නීතිවල සඳහන් වුණා. දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා දෙවියන් තවත් අනාගතවක්තෘවරයෙකුව පත් කරනවා කියලා. ඒ තමයි දෙවියන් කියපු “පැවත එන තැනැත්තා.”

අවුරුදු 400 ගාණකට පස්සේ දාවිත් රජුට “පැවත එන තැනැත්තා” ගැන දෙවියන් තවත් තොරතුරු හෙළි කළා. ඒ තැනැත්තා රජ කෙනෙක් වෙනවා කියලත් ඔහුගේ රාජ්‍යය සදහටම පවතිනවා කියලත් දෙවියන් කිව්වා. මිනිසුන්ව පාපයෙන් ගලවගෙන මේ පොළොව පාරාදීසයක් කරන විශේෂ පැවරුම දෙවියන් ඒ තැනැත්තාට දීලා තියෙන නිසා ඔහුව මෙසියස් එනම් ක්‍රිස්තුස් කියලා හඳුන්වනවා.

ක්‍රිස්තුස් නිහතමානී, කරුණාවන්ත කෙනෙක් කියලත් ඔහුගේ පාලනය යටතේ කුසගින්න, අයුක්තිය හා යුද්ධ නැති වෙනවා කියලත් දාවිත් සහ වෙනත් සේවකයන් මගින් දෙවියන් දැනුම් දුන්නා. ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ මිනිසුන් අතරත් මිනිසුන් හා සතුන් අතරත් සමාදානය ඇති වෙනවා. ලෙඩ දුක් හා මරණය නැති වෙනවා. මිය ගිය අයට ආපහු ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.

ක්‍රිස්තුස් ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලා මීකා මාර්ගයෙනුත් ඔහුව මරා දානවා කියලා දානියෙල් මාර්ගයෙනුත් දෙවියන් හෙළි කළා. ඒත් දෙවියන් ඔහුව නැවත නැඟිටුවලා ස්වර්ගයේ රජු හැටියට පත් කරනවා. ඒ රජු පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා දාන විදිහ දානියෙල්ට දෙවියන් දර්ශනයකින් පෙන්නුවා. කිව්ව විදිහටම මෙසියස් එනම් ක්‍රිස්තුස් ආවද?

තොරතුරු පදනම් වෙලා තියෙන්නේ බයිබලයේ උත්පත්ති 22-50 පරිච්ඡේද, නික්මයාම, ද්විතීය කතාව, 2 සාමුවෙල්, ගීතාවලිය, යෙසායා, දානියෙල්, මීකා හා සෙකරියා 9:9 මතයි.