Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා”

“මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා”
  • ඉපදුණ අවුරුද්ද: 1978

  • රට: චිලී

  • අතීතයේදී: දරුණු කෙනෙක්

මගේ අතීතය:

මම හැදී වැඩුණේ චිලී රටේ සන්තියාගෝ නගරයේ. ඒ පළාත කුඩු ජාවාරම්වලටයි පාතාල කල්ලිවලටයි හරිම ප්‍රසිද්ධයි. එහේ හුඟක් අපරාධ සිද්ධ වුණා. මට අවුරුදු පහේදී තාත්තවත් මැරුවා. ඊටපස්සේ අම්මා වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. එයා මටයි අම්මටයි නිතරම වගේ ගැහුවා. ඒ දුක්බර අතීතය තවමත් මගේ හිතේ කෙටිලා තියෙනවා.

මම හැදී වැඩුණු පරිසරය මාව දරුණු පුද්ගලයෙක් කළා. මම හෙවි මෙට්ල් සිංදු අහන්නයි වෙරි වෙනකම් බොන්නයි පටන්ගත්තා. ඉඳලා හිටලා කුඩුත් බිව්වා. කුඩු ජාවාරම්කාරයන් එක්ක නිතරම වගේ රණ්ඩුවලටත් පැටලුණා. ඒ අය මාව කීප වතාවක්ම මරන්න හැදුවා. එක පාරක් අපිත් එක්ක රණ්ඩු කරපු පාතාල කල්ලියක් ප්‍රසිද්ධ මැරයෙක්ව දම්මලා මාව මරන්න හැදුවා. පිහි පාරක් විතරක් කාලා මම ජීවිතේ බේරගත්තා. තව දවසක් කුඩු ජාවාරම්කාරයෝ කීපදෙනෙක් මාව අල්ලගෙන මගේ ඔළුවට පිස්තෝලයක් තියලා මාව මරන්න හැදුවා.

1996දී මට කාරොලීනාව මුණගැහුණා. ඊටපස්සේ අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා 1998දී අපි විවාහ වුණා. මට පොඩි දේටත් හුඟක් කේන්ති යන නිසා අපේ පළවෙනි පුතා ඉපදුණාට පස්සේ, බාප්පා වගේ මාත් පවුලේ අයට හිරිහැර කරයි කියලා මට ලොකු බයක් දැනුණා. මම පුනරුත්ථාපන කඳවුරකට ගිහින් ප්‍රතිකාර ගන්න තීරණය කළේ ඒ නිසයි. ඒත් පළක් වුණේ නැහැ. පවුලේ අයට මගෙන් අනතුරක් වෙයි කියලා හිතලා මම දිවි නහගන්නත් හැදුවා. ඒත් ඒක එහෙම වුණේ නැති එක ගැන අද මම සතුටු වෙනවා.

අවුරුදු ගාණක් තිස්සේ මම දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. හැබැයි දෙවි කෙනෙක්ව අදහන්න මට උවමනාවක් තිබ්බා. ඒ නිසා ටික කාලයක් මම එවැන්ජලිස්ත ආගමකට ගියා. ඒ කාලේ මගේ නෝනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගත්තා. මම නං සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. කීප වතාවක්ම මම නරක විදිහට එයාලට බැනලත් තියෙනවා. එයාලත් මාත් එක්ක රණ්ඩුවකට පැටලෙයි කියලා හිතුවත් එයාලා කේන්ති ගත්තේ නැහැ.

දවසක් කාරොලීනා කිව්වා මගේ බයිබලයෙන් ගීතාවලිය 83:18 කියවන්න කියලා. එතන පැහැදිලිවම කියනවා දෙවියන්ගේ නම යෙහෝවා කියලා. මට පුදුම හිතුණා. මොකද මගේ ආගමේ කවදාවත් දෙවියන්ගේ නම යෙහෝවා කියලා ඉගැන්නුවේ නැහැ. ඒ නිසා 2000 මුල් කාලේදී මාත් තීරණය කළා සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මම බයිබලය ඉගෙනගද්දී දැනගත්තා දෙවියන් දයානුකම්පිත, සමාව දෙන දෙවි කෙනෙක් කියලා. උදාහරණයකට නික්මයාම 34:6, 7 මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” ඒ වදන් මට ලොකු සහනයක් වුණා.

මම දැනගත්තා යෙහෝවා දෙවියන් දයානුකම්පිත, සමාව දෙන දෙවි කෙනෙක් කියලා

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තත් මට කේන්තිය පාලනය කරගන්න බැරි වුණ වෙලාවල් තිබුණා. එතකොට කාරොලීනා මට මතක් කරලා දුන්නා කේන්තිය පාලනය කරගන්න මම ගන්න හැම උත්සාහයක්ම දෙවියන් දකිනවා කියලා. මගෙන් වැඩක් නැහැ කියලා මට හිතුණත් කාරොලීනාගේ සහයෝගය නිසා දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ගත්ත උත්සාහය මම අත්හැරියේ නැහැ.

මට බයිබලයේ තියෙන දේවල් කියලා දීපු කෙනා දවසක් මට කිව්වා ගලාති 5:22, 23 කියවන්න කියලා. ඒකේ කියනවා කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙනවා නම් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” කියන ගුණාංග ඒ කෙනාට තියෙනවා කියලා. ඊටපස්සේ එයා කිව්වා මගේ තනි උත්සාහයෙන් ඒ ගුණාංග වර්ධනය කරගන්න බැහැ, ඒකට දෙවියන්ගේ බලයේ උපකාරය තියෙන්න ඕනේ කියලා. ඒක දැනගත්තට පස්සේ මට මගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියන හැඟීම ඇති වුණා.

මම සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගිය වෙලාවක එහේ තිබුණ පිළිවෙළ, පිරිසිදුකම, එයාලා අතරේ තිබුණ එකමුතුකම මගේ හිතට ඇල්ලුවා. මේක තමයි සත්‍ය ආගම කියලා ඒ වෙලාවේ මට තේරුණා. (යොහන් 13:34, 35) මම 2001 පෙබරවාරි මාසේ බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා. මම කරපු දේවල්වල හැටියට එයාලා මට අකමැති වෙච්ච එක වැරදියි කියන්නත් බැහැ. දරුණු කෙනෙක් වෙලා හිටිය මම යෙහෝවා දෙවියන් නිසා අද සාමකාමී කෙනෙක් වෙලා. මගේ බිරිඳයි පුතාලා දෙන්නයි එක්ක මම දැන් සතුටින් දෙවියන්ට සේවය කරනවා.

මගේ වෙනස දකින මගේ පවුලේ අයයි, යාළුවොයි පුදුම වෙනවා. ඒ නිසා සමහරු බයිබලය ඉගෙනගන්නත් කැමති වෙලා තියෙනවා. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න අනිත් අයට උදව් කරන්න ලැබිලා තියෙන එක මට ලොකු සතුටක්. එයාලත් මං වගේ ජීවිතේ වෙනස් කරගන්නවා දකින්න ලැබෙන එක ඇත්තටම ලොකු ආශීර්වාදයක්!