Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

යේසුස් අපි වෙනුවෙන් කරපු දේ

යේසුස් අපි වෙනුවෙන් කරපු දේ

කාලයක් තිස්සේ හැමෝම බලාගෙන හිටිය ක්‍රිස්තුස් ආවා. ඒ තමයි යේසුස්. මීකා කියපු විදිහටම ඔහු බෙත්ලෙහෙමේ ඉපදුණා. අවුරුදු 30කට විතර පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 29දී මෙසියස් එනම් ක්‍රිස්තුස් පෙනී සිටින කාලය ගැන දානියෙල් කියපු අනාවැකියත් ඉටු වුණා. ඒක ඉටු වුණේ යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ දෙවියන් තම බලයෙන් යේසුස්ව අභිෂේක කළාමයි.

ඊටපස්සේ යේසුස් ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න’ පටන්ගත්තා. (ලූක් 8:1) අනාවැකිවල තිබුණු විදිහටම යේසුස් කාරුණික, අන් අය ගැන සැලකිලිමත් කෙනෙක් වුණා. යේසුස් ආදරෙන් මිනිසුන්ට වටිනා දේවල් ඉගැන්නුවා. ‘ආබාධිත අයව සුව කළා.’ (මතෙව් 4:23) ඒ දේවලින් ඔප්පු වුණේ දෙවියන්ගේ බලය යේසුස්ට තිබුණා කියලයි. ලොකු පොඩි හැමෝම යේසුස් ළඟට ආවේ හරිම ආසාවෙන්. ඒ හැමෝම පිළිගත්තා යේසුස් තමයි එන්න හිටිය “මෙසියස්” කියලා.—යොහන් 1:41.

දෙවියන්ගේ රාජ්‍යයේ රජු හැටියට තමා අනාගතයේදී මේ පොළොව පාලනය කරන්න යනවා කියලත් ඊට කලින් යුද්ධ, භූමිකම්පා හා තවත් හුඟක් ප්‍රශ්න ඇති වෙනවා කියලත් යේසුස් කිව්වා. “සෝදිසියෙන් සිටින්න” කියලා යේසුස් නිතරම කිව්වේ ඒ නිසයි.—මාක් 13:37.

පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒත් යේසුස්ට වෛර කරපු අය ඔහුව මැරුවා. යේසුස්ගේ ජීවිත පූජාව නිසයි ආදම් හා ඒව අපිට නැති කරපු පාරාදීස පොළොවක සදාකාල ජීවනය ආපහු ලබාගන්න මාර්ගය පෑදුණේ.

යේසුස් මිය ගිහින් දවස් තුනකට පස්සේ දෙවියන් බලවත් කෙනෙක් විදිහට ඔහුව නැවත නැඟිටෙව්වා. ඒකෙන් ඔහුගේ මරණය හා නැවත නැඟිටීම ගැන කියලා තිබුණු අනාවැකි ඉටු වුණා. යේසුස් නැවත නැඟිටුණායින් පස්සේ ගෝලයන් 500දෙනෙකුට වඩා වැඩිදෙනෙක් ඔහුව දැක්කා. ආපහු ස්වර්ගයට යන්න කලින් යේසුස් ගෝලයන්ට කිව්වා තමා ගැනත් තම රාජ්‍යය ගැනත් ශුභාරංචිය ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට’ දේශනා කරන්න කියලා. (මතෙව් 28:19) ඒ බාරදූර වගකීම ඒ අය ඉටු කළේ කොහොමද?

තොරතුරු පදනම් වෙලා තියෙන්නේ බයිබලයේ මතෙව්, මාක්, ලූක්, යොහන් හා 1 කොරින්ති මතයි.